මිය ගිය සැමියාගේ කඩකාමරයට අයිතිවාසිකම් කියන බිරින්දෑවරුන් සිව් දෙනෙකු ගැන නාඋල ප්‍රදේශයෙන් ඇහෙන අමුතුම කතාව
Monday, 14 December 2020 - 8:23 | Views - 584
නාඋලෙන් ඇහෙන මේ කතාව සමාජයේ පිරුවට ඇද පේවී සිටියත් කොයි මොහොතේ හෝ හෙලුව පෙනෙන බවට වන ආදර්ශයකි. ජීවත්ව සිටියදීට වඩා මරණයේදී අමරණීය බව සොයන සිංහල ජනයාට මේ කතාව අමුතුම එකකි.
 
නාඋල නගරයේ පිහිටි නාඋල ප්‍රාදේශිය සභාවට අයත් දේපළ අතරේ ව්‍යාපාරික ස්ථාන රැසක් පවතියි. ඒ අතර සභාව මගින් ඉදිකර සිය ප්‍රදේශයේ මහජනතාවට භාවිතයට ගත හැකි කඩ කාමර රැසක් ද තිබේ. ඒවා වසර ගණනාවක් පැරණිය. ඒ වගේම ඒවායේ අයිතිකරුවන්ගේ අයිතියද බොහෝ ඈතට දිවයන්නේය. මාසික කුලී පදනම යටතේ ලබාදී ඇති මෙම කඩකාමර ලබාගෙන ඇති හිමිකරුවන් ඒවා වෙනත් පුද්ගලයන්ට ලබාදී අමතර මුදල් උපයන බවට පසුගිය සමයේ ප්‍රාදේශිය සභාව මගින් කරුණු අනාවරණය කරගන්නා ලදී.

මේ කතාව ඊට හාත්පස වෙනත් කතාවකි. වසර ගණනාවකට පෙර නාඋල වෙළඳ සංකීර්ණයේ කඩකාමරයක ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු පසුගිය දා මිය පරලොව ගියේය.
 
ඔහුගේ බිරිය සමඟ ඉතා සුහදව කටයුතු කළ මේ ව්‍යාපාරිකයා නවාතැන් ගෙන සිටියේ ද ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේය. කවුරුත් හොඳින් හඳුනන කා අතරත් ඉතා කුලුපග මේ ව්‍යාපාරිකයා නොදන්නා පුද්ගලයකු නාඋල දී සොයා ගැනීමට නොහැකි තරම්ය. හේ පසුගිය සැප්තැම්බර් මාසයේ දිවි මඩලින් සමුගත්තේය. සැමියා මිය යෑමත් සමඟ ව්‍යාපාරික ස්ථානය වසා දමා නාඋල ප්‍රදේශයෙන් බැහැර වූ බිරිඳ පසුව නාඋල ප්‍රාදේශිය සභාවට ලිපියක් ලිව්වේය.
 
මහජනතාව විසින් යොමු කරනු ලබන ලිපි ආදිය සභාපතිවරයාගේ අවධානයට ලක්වන අතර, මාසික මහ සභා රැස්වීමේ දී සෙසු මන්ත්‍රිවරුන්ගේ දැන ගැනීම හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සභාගත කිරීම සාමාන්‍ය තත්ත්වයකි.එවැනි සිදුවීමක් පසුගිය දා (08) නාඋල සභාවේ දී සිදු විය. ඒ මාසිකව පවත්වන මහ සභා රැස්වීමේදීය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ නවක මන්ත්‍රිවරයකු ද සභාවට පැමිණ සිටියේය.
 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරියන් දෙදෙනෙක් හා එක් මන්ත්‍රීවරයෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයෙක් මෙන්ම පාලන බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු හත් දෙනෙක් සභාව තුළ සිටියේය. සභාපති සනත් දසනායක ලිපිය සභාගත කළේය. එම ලිපියේ සඳහන් කර තිබුණේ මීට මාස කිහිපයකට පෙර සිය සැමියා මිය ගිය බවත්, ඔහුට හිමිව තිබු සභාවට අයත් කඩ කාමරය තමන් වෙත පවරා දෙන ලෙසත්ය.
 
ඇමුණුම් ලෙස බිරිඳගේ විවාහ සහතික ඇතුළු පදිංචිය සනාථ කිරිමේ වෙනත් ලියකියවිලිද පවතින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය.
 
"මේ ලිපිය වගේම තවත් ලිපියක් ලැබිලා තියෙනවා සභාවට ඒ ලිපියෙත් කඩකාමරය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ස්වාමිපුරුෂයාගේ නම එකයි. මේ සිදුවීම සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවශ්‍යයි. මට ලැබුණු තොරතුරුවලට අනුව මේ බිරින්දෑවරුන් දෙන්නට අමතරව තවත් විවාහ සහතික තියෙන බිරින්දෑවරුන් දෙදෙනෙක් ඉන්නවා කියලයි ආරංචිය. ඒ අයත් ඉදිරියට සභාවට ලිපි ඉදිරිපත් කිරිමේ අපේක්ෂාවෙන් පසුවනවා කියලා තමයි තොරතුරු තියෙන්නේ..."
 
සභාපති සනත් දසනායක සභාව හමුවේ කියා සිටියේය. අවසානයේ මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරිමට තීරණය විය. එම කමිටුවේ සාමාජිකයන් ඉදිරියේ දී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සභාව තීන්දු කළේය.
 
එකම භූමියකට හිමිකරුවන් සිවු දෙනකු ඉදිරිපත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? මෙහි ඇති නීතිමය පසුබිම කවරේද ? ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත කමිටුවේ දී තීරණය වීමට නියමිතය. මේ අතර මිය ගිය පුද්ගලයාගේ පළමු විවාහයේ වැඩිමහල් දියණිය සඳහන් කර ඇති පරිදි, සිය පියාට නීත්‍යානුකූලව විවාහ කරගත් බිරින්දෑවරු සිවු දෙනෙකු සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. කෙසේ වෙතත් තමන් පළමු විවාහයේ දරුවන් වන බැවින් පියා සේවය කළ ව්‍යාපාරික ස්ථානය තමන්ට ද අයිති බව ඇය සඳහන් කර තිබෙන බවත් එහිදී කතාබහට ලක්විය.
 
මෙම ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සභාව හමුවේ කරුණු දැක්වූ සභාපති සනත් දසනායක කියා සිටියේ ප්‍රාදේශිය සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම කාලෝචිත බවයි. ඒ අනුව මෙම ගැටලුව නිරාකරණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාඋල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් උප සභාපති ඩී. එම්. ඒ. කරුණාරත්න, පූජ්‍ය නාඋල ඉන්ද්‍රසාර හිමි, ජී. ඩබ්ලිව්. ජී. මුතුබණ්ඩා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමලසිරි බණ්ඩාර, එජාපයේ අචලා රාජකරුණා මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් කමිටුව සඳහා නම් කරන ලදී.
 
මීට අමතරව නීති උපදෙස් සඳහා නාඋල ප්‍රදේශයේ නීතිඥවරියකගේ සහාය ද මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ලබාගැනීමට සභා නියෝජිතයෝ තීරණය කළහ. ප්‍රාදේශීය සභාව සතු දේපළ සම්බන්ධයෙන් පවතින ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරමින් එකි ගිවිසුම යම් හෙයකින් උල්ලංඝනය වී ඇත්ද යන්න හා ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මෙම කමිටුව මගින් පරීක්ෂා කෙරෙන අතර, කමිටුවේ තීරණ මත මියගිය පුද්ගලයා විසින් භාවිතයට ගනු ලැබු ව්‍යාපාරික ස්ථානයේ වත්මන් අයිතිය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතය. ජීවත්ව සිටිය දී තමන්ට අයිති දේපළ නොබෙදා සිටීම මරණයක දී ජිවත්වන පුද්ගලයන්ට අත්විඳීමට සිදුවන කටුක මෙන්ම අමිහිරි අත්දැකීම් සමුදායක් මේ හරහා නිර්මාණය විය හැකිය.
 
ඉහත කී ගැටලුව දෙස සමාජානුකම්පාවෙන් බැලූ කල පවතින තොරතුරුවලට අනුව බිරින්දෑවරුන් සිවු දෙනකු එකම ස්ථානයකට අයිතිවාසිකම් කීම රාජකාරි සිදුකරන පාර්ශ්වවලට ගැටලුකාරි තත්ත්වයක් නිර්මාණය කරන බව නොරහසකි. සිය සැමියාගේ අයිතිය ඉල්ලා මෙම බිරින්දෑවරු ඉල්ලා ඇති හිමිකම සම්බන්ධයෙන් මතුවන ගැටලු හා සෙසු සමාජීය කාරණා සම්බන්ධයෙන් බාහිර සමාජය වඩාත් උත්සුක වන්නේ එකී කාරණා දෙස නොව සිදුවීම පදනම් කරගත් කරුණු කාරණා දෙසය.
 
කනකොකාගේ සුද දකින්නේ ඉගිළෙන විට බව පැරැන්නෝ කිවේ නිකම් නොවන බව අපට පසක් වන කරුණකි. තමන්ට පුළුවන් සමයේ බොහෝ දේ රැස් කළ ද අවසානේ එවා නිසි හිමි කරුවන්ට බාරනොදී මිය යෑමට අදහස් කරන බොහෝ පිරිසකට මෙම සිදුවීම හරහා බොහෝ පාඩම් උගත හැකිය.
 
ඉන්දික අරුණ කුමාර
නාඋල සමූහ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top