රටක් කම්පා කළ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ මරණයේ අභිරහස් එකින් එක එළියට - Video
Saturday, 12 December 2020 - 13:03 | Views - 4,606
රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ ස්වාමීන් වහන්සේගේ අපවත් වීමට හේතුව තාමත් අබිරහසකි.
 
උන්වහන්සේ අපවත් වූයේ කෙසේදැයි දැනගැනීම සඳහා උන්වහන්සේගේ සිරුර ගාල්ල කරාපිටිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කෙරුණද අපවත් වීමට හේතු වූ කාරණා සොයාගත නොහැකි විය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්
‍ය නිලධාරිනි ජානකි වරුෂා හැන්නදි මහත්මිය උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ලබාදුන්නේ විවෘත තීන්දුවකි.
 
සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා වාර්තාවක් ලබාගැනීමෙන් පසු උන්වහන්සේගේ මරණයට හේතුව ප්‍රකාශ කරන බව අධිකරණ වෛද්‍යවරිය පවසා සිටියාය.
 
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කලින් උන්වහන්සේට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකරන ලදී. එහෙත් අනාවරණය වූයේ එසේ නොවන බවය.
 
ජිනවංශ ස්වාමීන් වහන්සේ අපවත් වීමට හේතු සොයා ගැනීම සඳහා පැති කිහිපයක් ඔස්සේ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ අරඹා තිබේ.
 
මෙම පරීක්ෂණවල අරමුණ වී ඇත්තේ උන් වහන්සේගේ මරණය ඝාතනයක්ද, නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න දැනගැනීමයි. ඒ අනුව විමර්ශන සිදුවන බවත් මේ සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ වැඩ විසූ ස්වාමීන් වහන්සේලා, උන්වහන්සේ අවසන්වරට පිණ්ඩපාතයට වැඩම කළ නිවාසවල පදිංචි පුද්ගලයන්, උන්වහන්සේ ඇසුරු කළ පුද්ගලයන් 25කට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිසිය කියයි.
 
රත්ගම කළපුවේ පා වෙමින් තිබියදී සොයාගත් උන්වහන්සේගේ සිරුරේ පාද දෙකේ වෙන් වෙන් වශයෙන් ගල් දෙකක් බැඳ තිබූ අතර ඉන් එක් ගලක් ලණුවෙන් මිදී කළපුව තුළට වැටී තිබිණි. මේ හේතූන් නිසා උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් දැයි පොලිසියේ සැකය විණි.
 
එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කළ උන්වහන්සේගේ සිරුරේ කිසිදු බාහිර තුවාලයක් හෝ සීරිම් කැළල් හෝ දක්නට නොවූ බවත් අනාවරණය වී තිබේ.
 
කෙසේ වෙතත් මරණ පරීක්ෂණ වාර්තා අනුව උන්වහන්සේ ගඟට දමා හෝ ගඟට වැටී ඇත්තේ පණ තිබියදී බව අනාවරණය වී ඇත. ඊට හේතුව වී ඇත්තේ උන්වහන්සේගේ පෙණහලුවල වැලි හා ජලය තිබීමය.
 
මෙවැනි සැකසහිත හේතු ගණනාවක් ඔස්සේ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙහි නවතම විමර්ශනය වී ඇත්තේ උන්වහන්සේ පොල්ගස්දූව ආරණ්‍යයේ වැඩ විසූ කාලය තුළ උන්වහන්සේගේ හැසිරීම හා උන්වහන්සේ කාලය ගත කළ ආකාරය පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරයකු ලවා වාර්තාවක් ලබාගැනීමට දකුණු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා මහතා කටයුතු කිරීමය.
 
ජිනවංශ ස්වාමීන් වහන්සේ භාවනානු යෝගීව වැඩවිසුවේ රත්ගම පොලිස් වසමට අයත් පොල්ගස්දූව නමැති දූපත් කොටසකය. ඒ අසල තවත් දූපතක් ඇත. එය මැටි දූව හෙවත් පරපු දූව ලෙසත් හඳුන්වති. උන්වහන්සේ සමඟ තවත් ස්වාමීන් වහන්සේලා විසි ගණනක් වැඩ වාසය කර ඇත්තේ මේ දූපත්වලය.
 
මේ දූපතේ සියලුම ස්වාමීන් වහන්සේලා ජීවිතය ගත කරන්නේ වෙන් වෙන්ව සෑදුණු කුටි තුළය. ජිනවංශ ස්වාමීන් වහන්සේද එක් කුටියක රැඳී භාවනානු යෝගීව වැඩ වසා තිබේ.
 
උන්වහන්සේ දූපතෙන් පිටතට ගොස් ඇත්තේ තමන් වහන්සේම පදින ඔරුවකිනි.
 
උන්වහන්සේට හොඳින් පිහිනිය හැකි විය. ගහකොළ සතා සිවුපාව, මෙන්ම මනරම් පරිසරයටද උන්වහන්සේ ආදරය ගෞරවය දැක්වූහ.
 
දින දෙක තුනක් තිස්සේ උන්වහන්සේ ගැන තොරතුරක් නොලද තැන සේනාසනයේ නායක හාමුදුරුවන් රත්ගම පොලිසියට පැමිණිල්ලක් කරමින් උන්වහන්සේ සොයා දෙන ලෙසද ඉල්ලා ඇත.
 
එහෙත් උන්වහන්සේ ගැන කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නැත.
 
පසුගිය 8 වැනිදා අලුයම කිසියම් පුද්ගලයකු රත්ගම පොලිසියට තොරතුරක් ලබා දුන්නේය. රත්ගම කළපුවේ මිනිස් සිරුරක් පාවෙන බවටය.
 
රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ මහතා ඇතුළු කණ්ඩායමක් වහා රත්ගම කළපුව වෙත ගියේ ඒ අනුවය.
 
එහිදී නිලධාරීන්ට අවබෝධ වූයේ දියේ රැඳි සිරුර ඊට දින දෙකකට කලින් අතුරුදන් වූ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ බවය. කිමිඳුම්කරුවන් යොදාගෙන උන්වහන්සේගේ සිරුර ගොඩගැනීමට නිලධාරීහු කටයුතු කළහ.
 
උන්වහන්සේගේ සිරුර ගොඩ ගනිද්දී උන්වහන්සේගේ දෙපා ලණුවකින් බැඳ ගලක්ද ගැටගසා ඇති අයුරු දැක ගත හැකි විය. ගල ගැට ගැසූ ලණු කැබැල්ල ගැලවී තිබිණි. ස්ථානාධිපතිවරයාට අවබෝධ වූයේ එක් ගලක් නොව ගල් දෙකක්ම උන්වහන්සේගේ දෙපාවල ගැට ගසා තිබුණත් ඉන් එකක් ගැලවී ඇති බවය.
 
දෙපා බැඳ ගල්ද ගැට ගසා උන්වහන්සේගේ සිරුර කළපුවේ ගිල්වා දමන්නට කිසිවකු හෝ කිහිපදෙනකු උත්සාහ දරා ඇතැයි යන සැකය නිලධාරීන් තුළ ඇති වූයේ ඉන් අනතුරුවය.
 
“සර් සමහර වෙලාවට ජීවිතේ ගැන කලකිරිලා හාමුදුරුවෝම ගල් දෙක කකුලේ ගැට ගහගෙන කළපුවට පැන්නද දන්නේ නැහැ”
 
නිලධාරියකු එලෙස කීවද තවත් නිලධාරීන් කීවේ උන්වහන්සේ වෙනත් ප්‍රදේශයක මරා දමා සිරුර ගෙනවිත් ගල් ගැට ගසා දියේ ගිල්වා දමන්නටද හැකි බවට සැක සිතෙන බවය.
 
කෙසේ වෙතත් උන්වහන්සේගේ අපවත් වීම ප්‍රශ්නකාරී විය. එය තවත් ව්‍යාකූල වූයේ උන්වහන්සේ නෙදර්ලන්ත ජාතික ස්වාමීන් වහන්සේ නමක වීමය.
 
සිද්ධිය ස්ථානාධිපතිවරයා විසින් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන දුල්ෂාන් නාගහවත්ත හා කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහත්වරුන්ටද දැනුම් දෙන ලදී. ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ හා දකුණ පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා යන මහත්වරුන් දැනුවත් කෙරිණි.
 
සිද්ධිය ගැන තවත් තොරතුරු විමසූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තංගල්ලේ සිට වහාම රත්ගම ප්‍රදේශයට පැමිණි අතර ඒ වන විට ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙපළ හා නියෝජ්‍ය පොලිස්පතිවරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියහ.
 
උන්වහන්සේගේ අපවත් වීම ගැන තොරතුරු ජාත්‍යන්තරයට පැතිරයාම එතරම් හොඳ නැති බව දත් උසස් නිලධාරීහු වහා විමර්ශන සිදුකරන ලෙස රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කළහ.
 
පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට ගිය ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායම එහි පරීක්ෂණය සිදුකොට වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගෙන්ද තොරතුරු විමසන්නට වූහ.
 
ඉන් අනතුරුව සිය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපවත් වීමට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බව කියා සිටියේය.
 
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන තුරු ස්වාමීන් වහන්සේගේ අපවත් වීම ඝාතනයක් ලෙස සලකමින් විමර්ශන සිදුකරන ලෙසද නියෝග කෙරිණි.
 
“කෝකටත් අපිට මේක නෙදර්ලන්ත එම්බසියට දන්වන්න වේවි. ෆොරිනර් කෙනෙක් නැති වුණොත් කොහොමටත් ඒ රටේ එම්බසිය දැනුවත් කරන්න ඕන.”
 
නිලධාරියෙක් එසේ කීවේය.
 
“එයාලට දැනුම් දුන්නාට පස්සේ එහෙන් ඕ.කේ. කියලා ආවාම තමයි පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න පුළුවන් වෙන්නේ”
 
මෙම අදහස්වලට අනුව ජිනවංශ ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නෙදර්ලන්ත තානාපති කාර්යාලයට ලිඛිතව යැවීමට පියවර ගන්නා ලදී.
 
“පෝස්ට් මෝඩම් රිපෝට් එක දුන්නට පස්සේ තමයි. හාමුදුරුවෝ අපවත් වුණේ කොහොමද කියලා දැනගන්න වෙන්නේ. ඒත් එතකම් ඉන්න එපා. අපි ඉන්වෙස්ටිගේෂන් පටන් ගනිමු”
 
උසස් නිලධාරීන්ගේ ඒ අදහස අනුව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් දෙකක් විමර්ශන සඳහා පත්කෙරිණි. රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළුව එක් කණ්ඩායමක් සකස් කරන ලදී.
 
ඊට අමතරව දක්ෂ විමර්ශන නිලධාරියකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වාගේ නායකත්වයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක්ද විමර්ශන සඳහා වෙන් කෙරිණි.
 
“එක ටීම් එකක් ස්ටේට්මන්ට්ස් රෙකෝඩ් කරගන්න. අනිත් අය ෆෝන් ඩීටේල් අරගෙන බලන්න. ඉන්ට් එකේ කට්ටිය දාලා තොරතුරු හොයාගන්න ඕන.”
 
උසස් නිලධාරීන් විමර්ශන නිලධාරීන්ට උපදෙස් දුන් අතර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහස වූයේ විමර්ශන සඳහා කොළඹින් සී.අයි.ඩී. ටීම් එකක් ගෙන්වා ගැනීමද සුදුසු බවය. ඒ අනුව කණ්ඩායම් තුනක් ජිනවංශ ස්වාමීන් වහන්සේගේ අපවත් වීමේ විමර්ශන කටයුතුවලට එක්කෙරිණි.
 
ඉන් අනතුරුව ගාල්ල කොට්ඨාස අපරාධ නිලධාරීහු අපවත් වූ ස්වාමීන් වහන්සේගේ වතගොත සොයා මූලික පරීක්ෂණ සිදුකරන්නට වූහ. ඒ සඳහා ඔවුහු පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට ගියහ.
 
පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය ඇරැඹී ඇත්තේ 1910 වසරේදී බව සඳහන්ය. පොල්ගස්දූව සේනාසනය පිහිටා ඇත්තේ ‍ෙදාඩන්දූව තැපැල් බල ප්‍රදේශය තුළය. ලංකාව බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවැති කාලයේ මෙම දූවේ හිමිකරු වූයේ විදේශීය ජාතිකයෙක්ය.
 
ජීවිතය ගැන කලකිරුණු ජර්මානු ජාතික ඥානාතිලෝක හිමියන් මෙම සේනාසනය ඇරැඹීමට මූලික වී ඇත. දැනඋගත් ස්වාමීන් වහන්සේ නමක් වන ඥානාතිලෝක හාමුදුරුවන් උපසම්පදා ලබා ඇත්තේ බුරුම දේශයෙනි. ඉන් අනතුරුව උන්වහන්සේ සිය ධර්ම චාරිකාවේදී වරෙක ලංකාවට පැමිණ ගාල්ල, බෝපේ ප්‍රදේශයේ පන්සලක වැඩ වාසය කර තිබේ.
 
දිනක් උන්වහන්සේ ‍ෙදාඩන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකගේ ආරාධනයෙන් එම ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගි වී ඇත. ඥානාතිලෝක හාමුදුරුවෝ මෙම දූපත ගැන දැනගෙන ඇත්තේ එම ගමනේදීය. පසුව ඒ ඉඩම පිළිබඳ තොරතුරු විමසා ගාල්ල කච්චේරියටද ගොස් සොයා බලා එම දූපත් ඉඩම ස්විට්සර්ලන්ත ජාතිකයකුට අයත් බවට දැනගැනීමෙන් පසු ස්විට්සර්ලන්තයට ගිය උන්වහන්සේ මෙම ඉඩම ලබාගෙන සංඝයා වහන්සේ සතුවන ආකාරයට ඔප්පුව ලියාගෙන ඇති බවද සඳහන්ය.
 
“මෙතැන දූපත් දෙකක් තියෙනවා. මැටි දූව අක්කර 6ක්. පොල්ගස්දූව අක්කර 7ක්. ඔය දූපත් දෙක වෙන්වුණේ යාර හය හතකින්. පස්සේ ඥානාතිලෝක හාමුදුරුවෝ මූලික වෙලා තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක එකතුවෙලා කඩොලාන හිටවලා ඔය දූපත් දෙක යා කළා. දැන් පොල්ගස්දූව අක්කර 13ක් විතර වෙනවා.”
 
විහාරස්ථානයට මෑතකදී සම්බන්ධ වුණු ප්‍රධාන දායකයෙක් කීවේය. ඥානාතිලෝක හාමුදුරුවෝ මෙම භූමියේ වැඩ වාසය කිරීමෙන් පසු බොහෝ දැනඋගත්, මිල මුදල්, දේපළ හිමි අය මෙරටට පැමිණ බුද්ධ ධර්මය වැලඳගෙන මෙම සේනාසනයේ පැවිදි වී භාවනානුයෝගීව වැඩ වාසය කර ඇත.
 
කුටි තුළ භාවනානුයෝගීව ජීවිතය ගත කරමින් මනුෂ්‍ය ආශ්‍රයෙන් අෑත් වී ධර්මය මෙනෙහි කරමින් ජීවත් වූ උන්වහන්සේලා ගත කළේ අල්පේච්ඡ ජීවිතයකි. ගමේ බොහෝ අයද උන්වහන්සේ හඳුන්වා ඇත්තේ සුදු හාමුදුරුවෝ නමිනි.
 
මිනිස් වාසයක් නැති මේ සේනාසනයේ පසුකාලයේ විදේශීය ස්වාමීන් වහන්සේ රැසක්ම වැඩ වාසය කළහ. එදා එලෙස වැඩ සිටි ස්වාමීන් වහන්සේ පරිසරයට ආදරය කළහ. සතාට සිවුපාවට කරුණාව දැක්වූහ. මේ කැලෑබද පෙදෙස්වලට ඇතුළුවීමට තහනම් බව සඳහන් පුවරුද විය.
 
ජිනවංශ ස්වාමීන් වහන්සේද එවන් සිල්වත් හිමිනමක් බව ප්‍රදේශවාසීහු කියති. පරිසරයට බෙහෙවින් ආදරය කළ උන්වහන්සේ තම කුසගින්න නිවාගත්තේ ඒ අවට ගම්වලට පිඬුසිඟා වැඩීමෙනි. ඒ සඳහා යෑමට උන්වහන්සේටම ඔරුවක්ද තිබිණි. ඔරුව පැදගෙන දූපතින් එගොඩ වූ උන්වහන්සේ පෙරළා කුසට යමක් ලබාගෙන සිය කුටියට ආපසු වැඩ වැලඳීම සිරිතක් කර ගත්තේය.
 
කළපුවේ මසුන් මරනවාට උන්වහන්සේ කැමැත්තක් දැක්වූයේ නැත. ගස් කැපීමට උන්වහන්සේ එරෙහි වූහ. කළපුව හරහා එහා මෙහා යන බෝට්ටුවල ශබ්දය උන්වහන්සේට රිස්සුවේ නැත. ඒ ශබ්ද උන්වහන්සේගේ මනස ව්‍යාකූල කිරීමට සමත්වීම ඊට හේතුව විය. කඩොලාන විනාශයට මෙන්ම අභයභූමිය හරහා කිලෝමීටර් එක හමාරක මාර්ගයක් තැනීමට සූදානම් වීම ගැනද උන්වහන්සේ විරුද්ධ වූහ.
 
උන්වහන්සේගෙන් යම් යම් දේ දැනගන්නට, අවවාද අනුශාසනා ලබාගන්නට උගත් වියත් පිරිස් මෙන්ම සංඝ පීතෘෘවරුද නිතර නිතර උන්වහන්සේ හමුවට පැමිණියහ. විනය පිටකය ඇතුළු ත්‍රිපිටකය පොහොය විනය කර්ම කටපාඩම්ව තිබූ හිමිනමක් වූ උන්වහන්සේ බුදුදහමේ ගැඹුරු තැන් කට පාඩමින් විස්තර කරන්නට අතිශූර හිමිනමක් විය.
 
උන්වහන්සේ නෙදර්ලන්තයෙන් පැමිණ ඇත්තේ මීට වසර 25කට පෙර බව කියති. ජීවිතය ගැන කලකිරී ඇති උන්වහන්සේ නොයෙකුත් රටවල පැවිදි ජීවිතයක් ගත කර මීට වසර අටකට පෙර මෙරටට වැඩම කර ඇතැයිද කියති.
 
"ඉස්සර හික්කඩුවට සුද්දෝ ආවේ නැහැ. අපි විදේශිකයෝ දැකලාවත් නැහැ. ඒත් ඔය දූපතේ පිටරට සුදු හාමුදුරුවරු හිටියා. උන්වහන්සේලා හරිම සිල්වත්. දූපතේ මහ වනය මැද නයි, පොළොංගු එක්ක තමයි උන්වහන්සේ කුටිවල ඉඳලා භාවනාවල යෙදුණේ. දූපතේ පාරවල් තිබුණේ නැහැ. ගල්, මුල් තමයි තිබුණේ. උන්වහන්සේලා සෙරෙප්පු දැම්මේ නැහැ. පොඩිකාලේ අපි සුදු ජාතික හාමුදුරුවරු දැකගන්න ඔය දූපතට ගිය හැටි මට මතකයි. ඒත් පේන්න හිටියේ නැහැ. අපි කැලෑව ඇතුළට ගිහින් උන්වහන්සේ වැඩසිටි කුටිවලට එබිකම් කරලා බලනවා. එහෙම කරනවට උන්වහන්සේ කැමැති නැහැ. ඒ දූපතේ බෝඩ් ගහලා තිබුණා භාවනානුයෝගීව වැඩ සිටි උන්වහන්සේට කරදර කරන්න එපා කියලා. උන්වහන්සේ ආහාරය ගන්නේ පිණ්ඩපාතයට වැඩලා. නිදා ගන්නේ බිම පැදුරක් එළාගෙන. ඉටිපන්දමක් හරි පොල්තෙල් පහනක් හරි පත්තු කරලා තමයි ආලෝකය ලබාගත්තේ. උන්වහන්සේ කුටිවලින් එළියට එන්නේ නැහැ. දානයට වැඩලා ආපහු කුටියට යනවා. මට මතක හැටියට ඔය සේනාසනයේ තිබුණා ලොරි රිම් එකක්. ඒකට තමයි යකඩ කෑල්ලකින් ගහලා දානයට ආරාධනා කළේ. උන්වහන්සේලා බිම බලාගෙන තමයි දානයට වැඩියේ. ඔළුව උස්සලාවත් බැලුවේ නැහැ. ඔය ආරණ්‍යයේ භාවනා කරපු ස්වාමීන් වහන්සේ හුඟදෙනෙක් පැවිදි වෙලා තිබුණේ ජීවිතය ගැන කලකිරිලා. ඉන්ජිනේරුවරු, ‍ෙදාස්තරවරු වගේ උගත් අය බුද්ධාගම ගැන පැහැදිලා ලංකාවට ඇවිත් මේ ආරණ්‍යයේ වැඩ වාසය කළා. ඔය සේනාසනය තියෙන්නේ මගේ නගර සභා වසමේ. මම උන්වහන්සේ හොඳට දන්නවා.හරිම සිල්වන්තයි.. අද ඔය ආරණ්‍යයේ සමහර කුටි කොන්ක්‍රීට්. සුව පහසු ඇඳන් වගේ දේවල් තියෙනවා. ඔය වැඩපිළිවෙළට මේ ස්වාමීන් වහන්සේ කැමැති නැහැ. ඒ නිසා උන්වහන්සේ කලකිරීමකින් හිටියේ කියලමයි මම හිතන්නේ”
 
“තනියම ඔරුව පැදගෙන ඇවිත් කළපුවෙන් එගොඩ වෙලා හෙන්නතොටට ඇවිත් පිණ්ඩපාත වඩිනවා මිනිස්සු දකිනවා. මෙච්චර සිල්වත් හාමුදුරුනමකට ඇයි මේ වගේ දෙයක් වුණේ. හාමුදුරුවන්ට කිසියම් කරදරයක් වෙලා තියෙනවා නම් මේ කාලයේදීම ඒ අයට පඩිසම් දෙන්න ඕන.” මේ ගම්වල ඔක්කොම පිරිස ඉන්නේ හරිම කනගාටුවෙන්. ඒ ඔක්කොමගේම ඇස්වල කඳුළු”
 
හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා උන්වහන්සේ ගැන කීවේ එසේය.
 
වරෙක ‍ෙදාඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍යය සේනාසනය පිහිටි කඩොලාන සහ ජෛව විවිධත්වයක් හෙබි කළපුව සම්බන්ධව හා ඇළ රක්ෂිතය ගොඩ කරමින් පාලමක් ඉදිකිරීමට කටයුතු යෙදී තිබිණි. පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් ඇතුළු විහාරස්ථාන කිහිපයක හිමිවරු ඊට විරෝධය දක්වන්නට වූහ. මෙම විරෝධය පිළිබඳ සෑහීමකට පත් නොවූ හික්කඩුව නගරාධිපති, ස්වාමීන් වහන්සේලාට කරුණු පැහැදිලි කළද පාලම මෙතෙක් ඉදිවූයේ නැත. මෙම පාලම සම්බන්ධයෙන්ද පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කර සිටි ස්වාමීන් වහන්සේලා අතරද ප්‍රශ්නය පැන නැඟ තිබිණි.
 
මෙවැනි සිදුවීම උන්වහන්සේගේ ඝාතනයට බලපෑවේද? මෙවැනි සිදුවීම් නිසා උන්වහන්සේට ඇතිවූ කලකිරීම් මත ජීවිතය අහිමි කර ගත්තේද? විමර්ශන සිදුකෙරෙයි.
 
“ඔය ආරණ්‍යයේ පොලිසියේ එස්.එස්.පී. මහත්තයෙකුත් මහණ වෙලා හිටියා. ඒ මහත්තයා විශ්‍රාම ගිහින් බෞද්ධ දර්ශනය ගැන පැහැදිලා සිවුරු දරාගෙන ඔය ආරණ්‍යයේ කුටියක භාවනා කළා. ඒත් මොන හේතුවක්ද මන්දා උන්වහන්සේට එතැන වැඩ සිටින්න හම්බවුණේ නැහැ. අන්තිමට උන්වහන්සේ නුවරට ගිහින් වෙනත් ස්ථානයක භාවනා කරනවා”
 
"උන්වහන්සේට දිවි නසාගන්න වුවමනාවක් තිබුණේ නැහැ. එහෙනම් උන්වහන්සේ වැඩ සිටිය කුටියේම දිවිනසාගන්න තිබුණනේ. ඇයි කළපුවටම ගියේ? උන්වහන්සේ අපවත් වීම නිසා අද මුළු රත්ගම, හික්කඩුව, ‍ෙදාඩන්දූව ප්‍රදේශවල ජනතාව ශෝකයට පත්වෙලා ඉන්නේ. කොහොමද උන්වහන්සේ අපවත් වුණේ කියලා දැනගන්නැයි අපිට ඕනෑ.”
 
හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා අවධාරණය කළේය.
 
උන්වහන්සේ කෙසේ අපවත් වුණේ දැයි සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන කණ්ඩායම් උන්වහන්සේ රැඳී සිටි කුටියේ තිබී ජංගම දුරකථන දෙකක්, මෙමරි කාඩ්පත් 11ක් හඬ පටිගත කිරීමේ යන්ත්‍ර දෙකක් හා උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රයද සිය භාරයට ගෙන තිබිණි.
 
ඊට අමතරව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්ෂුන්ට අමතරව ආවතේවකරුවන්ගෙන්ද ආරණ්‍ය භූමියේ ඉදිකිරීම් කටයුතු කළ පෙදරේරුවන්ගෙන්ද දායක සභාවේ කිහිප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
 
ස්වාමීන් වහන්සේ භාවිත කර ඇතැයි කියන ජංගම දුරකථනවල ‘සිම්’ කාඩ්පත් දකින්නට නොවූ බව විමර්ශන නිලධාරියෙක් කීවේය. අදාළ ඉමි අංක ඔස්සේද විමර්ශනයක් සිදුකරමින් තිබේ.
 
ස්වාමීන් වහන්සේ සියදිවි හානිකර ගැනීම සඳහා කළපුවට පැන්නේද යන්නද සැක සහිතය. උන්වහන්සේට දිවිනසාගන්නට අවශ්‍යම වූයේ නම් සිය කුටිය තුළදී එවන් හානියක් සිදුකිරීමට ද හැකියාව ඇත.
 
නෙදර්ලන්ත ජිනවංශ හිමි ඝාතනය ගැන විහාරාධිපති සංගමයේ සභාපති අතිපූජ්‍ය ‍ෙදාඩන්දූව කුමාරකන්ද මහ විහාරාධිපති ගාල්ල දිසාවේ අධිකරණ සංඝනායක, විනය කීර්ති පණ්ඩිත හික්කඩුව දකුණු විහාරාධිපති සංගමයේ සභාපති ශාස්ත්‍රපති ගන්තලාවේ ගුණානන්ද හිමිපාණෝ මෙසේ පැවැසූහ.
 
“මා කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික හිමිනම සමීපව ඇසුරු කළා. මේ අපවත් වීම ගැන මහා සංඝ රත්නයම දැඩි සේ කම්පාවටත්, කලකිරීමටත් පත් වුණා.”
 
“නෙදර්ලන්ත ජිනවංශ ස්වාමීන් වහන්සේ අප ඇසුරු කරන්න වෙලා දිගු කාලයක් වෙනවා. උන්වහන්සේ ධර්මධර, සිල්වත්, උගත්, ඥානය බොහෝ සෙයින් ප්‍රගුණ කර ඇති යතිවර නමක්. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින්නේ කොටස් බෙදාගෙන. මෙම ප්‍රදේශයට එන විට මගේ පන්සලට එනවා. මටත් සිවුරු ආදිය පූජා කරනවා. මම දෙන කිසිම පූජාවක් ගෙනියන්නෙ නෑ. භාර ගන්නවා විතරයි. හැබැයි දෙන ඉංගී්‍රසි බණ පොත් සියල්ල ගෙනියනවා. ඒවට කැමැතියි.”
 
"මේ සිද්ධිය සිදු වූ මොහොතේ සිට දෙස් විදෙස් දායක කාරකාදීන් අපෙන් විස්තර විමසනවා. ඒ වගේම විදේශ රටවල ඉන්න අපේ දායක හිතවතුන් මහත් කම්පාවෙන් ඇමැතුම් ලබා දෙනවා. මේ ම්ලේච්ඡ ක්‍රියාව ලෝකයේ සෑම රටකටම මාධ්‍යවලින් ප්‍රචාරය වී තිබෙනවා. මෙය අපේ රටට, ධර්මද්වීපයට මහා කැළලක්. මකන්න බැරි කළු පැල්ලමක් ලෙසයි මම දකින්නේ.කුරා කුහුඹුවකුටවත් වරදක් නැති උන්වහන්සේට පෙර අකුසල කර්මයක් පල දුන්නාද කියන්න දන්නේ නෑ. කොහොම වුණත් විහාරාධිපති සංගමය වශයෙනුත් දක්ෂිණ ලංකාවේ වගකිවයුතු විහාරාධිපතින් වහන්සේ නමක් වශයෙනුත් පොලිස් නිල දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනුත්, බුද්ධශාසන අමාත්‍යතුමාගෙනුත්, පොලිස්පතිතුමා ඇතුළු සියලුම බලධාරීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දැඩි දඬුවම් ලබාදෙන ලෙසයි.”
 
දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන්ද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලොහාන් මධුශංක හා පොලිස් පරීක්ෂක ගයාන් කුමාර හා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
 
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිනේශ්ද සිල්වා ඇතුලු කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වති.
 
කීර්ති මෙන්ඩිස්
අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්....


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top