අයවැය යෝජනා රැසක් ඊයේ සිට ක්‍රියාත්මකයි
Friday, 11 December 2020 - 9:00 | Views - 323

2021 වසර මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන්, සිසු දරු දැරියන් වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා මෙලෙස වහාම ක්‍රියාත්මක බවයි.
අයවැය තුන්වන වර කියවීම හෙවත් අවසන් ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුණා. අයවැයට පක්ෂව ජන්ද 151 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 54ක් පමණයි.
මුදල් අමාත්‍යාංශය තවදුරටත් නිවේදනය කළේ රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස ණය හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලබන උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීම දැන් සිට ක්‍රියාත්මක බවයි.
ඒ අනුව දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයන්ගෙන් අය කරනු ලබන පොලී ප්‍රතිශතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 3ක් දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා සියයට 7 දක්වාත් අඩු කෙරෙනු ඇති.
වෛරසය ආසාදිතව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයෙකු සඳහා දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් ප්‍රතිලාභ හිමි වන අතර, එමගින් ජීවිත අහිමි වීමක් සිදුවහොත් රුපියල් ලක්ෂ 7ක උපරිමයක් පිරිනැමීමට නියමිතයි.
තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජිත තුරුණු දිරිය මූල්‍ය පහසුකම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනවා.
එමෙන්ම, දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා “කිරි ශක්ති” ණය යෝජනා ක්‍රමය ද ක්‍රියාත්මකයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා යෝජිත ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය ද අයවැය සම්මත මොහොතේ සිට ක්‍රියාත්මක වන අතර පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහන ද මේ අනුව වහාම ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අතර අයවැය සම්මත වීමෙන් පසු සාම්ප්‍රදායික ලෙස කථානායක නිළ නිවසේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා.
Share This Article