දේව වරමක් ලැබුණු දියණිය, සැමියයි දරුවයි එක්ක එකතු වෙලා පියෙකු ඝාතනය කළ හැටි එළියට එයි
Thursday, 10 December 2020 - 14:21 | Views - 326

"ගේට්ටුව ළඟට දුවගෙන ආව බෑනා මට පයින් ගැහුවා. එතකොට මාව බිම වැටුණා. අපේ දුව පන්දම පත්තු කරගෙන මං ළඟට දුවන් ආවා. දුම්මල මුට්ටිය අරගෙන දුවගේ දුවත් එතැනට ආවා.."
"මගේ දුව මගේ ඇඟට පන්දම අල්ලන කොට මිනිබිරි දුම්මල ගැහුවා. මාව පිච්චිලා ගිනි ගන්න කොට උන් යන්න ගියා.."
මේ ටෙලි නාට්‍ය ජවනිකාවක් නොවේ. සැබැවින්ම සිදු වූ සත්‍යම සත්‍ය ශෝකාන්තයක්. මේ සිදුවීම වාර්තා වූයේ හොරණ පොලිස් බල ප්‍රදේශයේ ඉළිඹ ගම්මානයෙන්.
ඉළිඹ, කළුනිදගම නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු මුළුතැන්ගේ හා කාමර දෙකක් සහිත පර්චස් විස්සක පමණ වන ඉඩමක පිහිටි මේ කුඩා නිවස වෙනත් කෙනෙකුගෙන් ඔහු මිලදී ගෙන පදිංචිව ඇත්තේ නිස්කලංක ජීවිතයක් ගත කිරීම සඳහායි.
මොහු හොරණ මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙක්. දන්න කාලයක සිට මතට ඇබ්බැහි වී සිටි මොහුගේ බිරියට හෝ දරුවන් දෙදෙනාට යුතුකමක් ඉටු වූයේ නැහැ.
දරු දෙදෙනාගෙන් වැඩිමලා දියණියක්. ඇය වයස අවුරුදු දහසය පිරෙද්දි තරුණයෙකු සමඟ පැන යන්නේ පියා සමඟ තවදුරටත් වාසය කිරීම කළ නොහැකි නිසයි.
ඇය මෙලෙස බාල වයස්කාරියක ලෙස පැන යන්නේ රියදුරෙකු සමඟයි. හොර රහසේ පලා ගිය ද ඇය යළි මහ ගෙදරට එන්නේ තිදරු මවක් වූ පසුවයි.
ඒ පැමිණියද ඇයට මවුපිය නිවසේ කල් ගත කිරීමට පියාගෙන් ඉඩක් ලැබුණේ නැහැ. ඇය එම ඉඩමේ කොටසක් වෙන් කොට තාප්පයකුත් සාදා ගේට්ටු දමාගෙන නිවසක් ඉදි කරගත්තා.
එලෙස නිවසක් ඉදි කරගෙන පදිංචි වුවත් මල්ලි සිය පවුල සමඟ පදිංචිව සිටින මව්පියන්ට අයත් මහ ගෙදරත් එම ඉඩමත් ගැන තිබූ කෑදරකම නම් අඩුව ගියේ නැහැ.
වේල්ඩින් වැඩවල නිරත වූ එකම පුතාද විවාහ වී මව්පියන් සමඟ මේ නිවසේ සිටි අතර මීට මාස තුනකට පෙර යතුරු පැදිය වාහනයට ගැටීමෙන් අනතුරුට පත්ව ඔහු මිය ගියා. එවිට ඔහු විසි අටවන වියේ පසුවුනා.
ඔහුගේ වියෝවෙන් පස් හැවිරිදි දරුවා සමඟ තනි වූ බිරිය තේ දලු කඩා කීයක් හෝ උපයා ගත්තා. වසර තුනක පමණ සිට ඔත්පලව සිටින සැමියාගේ මවට උවටැන් කිරීමට ද ඇය වග බලාගත්තේ සැමියාගේ පාර්ශවය කෙරෙහි තිබූ බැඳීම ද මොනවට පෙන්වමින්.
මීමැස්මොර රෝගයෙන් පීඩා විඳින ලේලියගේ ඇති කරුණා දයාව තම දියණියට නොහැති වීම ගැන පියා සිටියේ කළකිරීමෙන්. තම මව්පියන් ගැන දියණිය කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකරන බව ගම්වැසියෝ දැන සිටියා.
හතළිස් හැවිරිදි පියේ පසුවූ මේ තැනැත්තිය ඇගේ නිවසේ දේවාලයක් පටන් ගත්තේ තමාට වරමක් ලැබී ඇති බව කියමිනුයි.
නිතරම සීනුවක් සොළවමින් යාතිකා පවත්වන ඇය දේව වරමින් ශ්රාස්ත්ර කීවා. ඇගේ ආවතේව කළේ ඇගේ සැමියා හා විසිතුන් හැවිරිදි දියණිය විසිනුයි.
විශ්‍රාම ගැනීමෙන් පසුව නිකරුණේ නිවසට වී සිටීම නුසුදුසු බව සිතූ මේ පියා ලොතරැයි පත් අලෙවි කළා. කෙසේ වෙතත් ඔහුට මෙන්ම අසල්වැසියන්ට ද දියණියගේ සීනුව විශාල පීඩාවක් ගෙන දුන්නා.
පියා මේ ගැන කිහිප වරක්ම පවසා සිටියත් ඇය ඒවා මායිම් කළේ නැහැ.
උදේ සිට වෙහෙසී නිවසට පැමිණි පියා ඉතිරිව තිබූ ටිකට්පත් ගැන විස්තර සටහන් කරමින් සිටියේ ලේලිය රාත්‍රී ආහාරය සුදානම් කරන අතරයි.
"අදත් පටන් ගත්තද උඹලගේ කෙලේමල් කන්දොස්කිරියාව. ඔය ගෙජ්ජි හෙළවිල්ල නවත්තලා දාන්න කියලා කී දවසක් මම උඹලට කිව්වද..?"
මිදුටල පැමිණි පියා දියණියට බැන වැදුනා.
"මගේ ගෙදර කරන වැඩ නවත්තන්න උඹ කවුද? මෙච්චර කල් උඹ මොනාවද අපිට කරලා තියෙන්නේ. ගෙදර ඉන්න එකාටම අස්වද්දලා එනවද මෙතැන දැන් මාව හදන්න.."
"රෑ තිස්සේ ඝණ්ඨාර හොලෝනවා ඉවරයක් නෑ. අහළ පහළ මිනිහෙකුට නිදාගන්න නෑ. සද්දෙ අඩු කරලා දාන්න කිව්වට අහන්න බෑ පොඩ්ඩක්. ගෙජ්ජිය හොලෝ හොලෝ උඹේ දෙයියො ගෙනත් දෙනකං බලාගෙන හිටපන් කට ඇරගෙන.."
කෑ ගැසිල්ලට පිළිතුරු ලෙස දියණිය ද බැන වදින අතරේ පියාගේ නිවසේ වහළයටත් ගල් ගසන්නටත් පටන් ගත්තා.
ඉන් දැඩි ලෙස කිපෙන පියා දියණියගේ ගේට්ටුව අසළට යන්නේ දියණියට යස පාඩමක් ඉගැන්වීමේ බලාපොරොත්තු ඇතිවයි. ගේට්ටුව අසළට පැමිණ සිටින පියා දුටු දියණියගේ මෙන්ම බෑනාගේත් මිනිබිරියගේත් කෝපය ඉවවහා ගියා. ඉස්සර වූයේ බෑනායි.
සිය බිරියගේ පියා අසළට එන ඔහු පා පහරකින් ඔහුට සංග්‍රහ කළේ වයස ගැනවත් නොසිතා. ඒ සමඟම දියණියත්, මිනිබිරියත්, බිම වැටී දඟලමින් සිටින පියා අසළට එන්නෙ දුම්මල වරම අතට ගත් යකදුරන් ලෙසයි.
ඇත්තටම ඔවුන් එතැනට එන්නේ ගිනි පන්දමක්ද දුම්මලද රැගෙනයි. පන්දම දියණිය අතේයි. දුම්මල මිනිබිරිය අතේයි. මේ බිම වැටී දඟලමින් ජීවිතය අයැදින්නේ තම පියාය යන සිතුවිල්ල මේ දියණියගේ සිතට ආවේ නැහැ.
දේවාලයේ කටයුතු වලදී මවට දියණියගේ ලැබෙන සහය අගනා එකක්.
බිම වැටී සිටි පියා එළවා දැමීමට ද මේ දෙදෙනා ගත්තේ යකුන් එළවා දැමීමේ ක්‍රම වේදයයි. එනම් දිය්ණිය පියා අසළට පන්දම ළං කරද්දි මිනිබිරිය දුම්මල ගසන්නට වුනා.
දුම්මලට යකා පැන ගියත් පියා පැන ගියේ නැහැ. ගිනි පන්දමට එල්ලවන දුම්මල පිලිස්සි විසිරෙන ගින්නෙන් පියාගේ සිරුර පිළිස්සී ගියා. මෙය දුටු ලේලිය ඇවිත් මාමණ්ඩියට එලෙස නොකරන ලෙස බැගෑපත් වුනා. ඒ වන පියා බරපතළ ලෙස පිලිස්සී සිටියා. ලේලියගේ ඉල්ලීමට දියණියගෙන් ලැබුණු ප්‍රතිචාරය වූයේ "උඹටත් මේ ටික කර ගන්න ඕනද" යන්නයි.
මේ තිදෙනාගේ ගර්ජනාව හමුවේ බියපත් වූ ඇය නිවසට ගොස් දොර වසා ගත්තේ මෙතැන සිටියොත් තම ජීවිතයටත් අනතුරක් වේය යන සැකයෙන්.
මිදුලේ පෙරළෙමින් කෙසේ හෝ ගින්න නිවාගත් පියා වේදනාවෙන් කෙඳිරි ගාමින් වතුර කරාමය යටට ගොස් ගත දවන දාහය නිවාගත්තා. අනතුරුව ත්‍රීරෝද රථයක් ගෙන්වා ගැනීමට දුරකථන ඇමතුම් දුන්නට එය සාර්ථක වූයේ නැහැ.
අවසානයේ ත්‍රීරෝද රථයක් ගෙන්වාගෙන මේ අසරණ පියා රෝහලට යන විට පසුදින අළුයම එකහමාර පමණ වී තිබුණා.
රෝහල්ගත වූ හෙතෙම තමාගේ සිරුරේ ඇති වූ පිළිස්සුම්වලට හේතුව සඳක් කළා. ඒ අනුව බළධාරින් මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.
විමර්ශන අනුව පොලිසිය චෝදනා කිහිපයක් යටතේ මේ පුද්ගලයා ඝාතනයට තැත් නළ මව පියා හා දියණිය අත්අඩංගුවට ගත්තා.
ඒ වන විට පැවති කොරෝනා තත්ත්වය නිසා මොවුන් ඇප මත මුදා හැරුණා.
ඒ අතර මාමාණ්ඩිය රෝහල්ගත කර දින කිහිපයක් ගත වෙද්දි නැන්දම්මා ද රොහල්ගත කිරීමටද ලේලියට සිදුවුණා. ඒ ඇගේ උදරයේ වේදනාවක් හේතුවෙන්. හොරණ රෝහලේ 14 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන්නේ ලේලිය දැඩි අපහසුතාවයට පත් කරමින්.
අවසන් කටයුතු කිරීමට ඇයට හයියක් නැති නිසා සිරුර දියණියට දීමට අදාළ අංශ කටයුතු කළා.
"තමුන්ට කිරි දී හැදූ ගුණේවත් තියන්න බැරිද.. නැතිවෙලා තියෙන්න තමුන්ව කවලා පොවලා කැත කුණු ඇද්ද අම්මා නේද.."නිළධාරින් පවසද්දි,
"අනේ සර් මාව වැදුව එක ඇත්ත. ඒ වුණාට මට කරපු රෙදයක් නෑ එගොල්ලෝ. මම දැන් ඉන්නේ අයින් වෙලා. මට බෑ ඕවට කර ගහන්න.."
යැයි කියා තිබුණා.
ඒ අතරේ මෘත ශරීරාගාරයේ දින කිහිපයක් සිරුර තිබුනු අතර බිරිය මිය ගිය බව නොදැන වේදනා විඳිමින් සිටි සැමියාද පසුගිය 6 වැනිදා මිය ගියා.
එතෙක් නිදැල්ලේ සිටි මව පියා හා දියණිය යළි අත්අඩංගුවට ගන්නේ පුලුස්සා මනුස්ස ඝාතණයක් සිදු කළ චෝදනාවටයි.
අත්අඩංගුවට ගත් මවගේ වයස අවුරුදු 40ක්. පියාද 40 වන වියේ පසුවන අතර දියණියගේ වයස අවුරුදු 23ක්.
"හැමදාම බීලා ඇවිල්ලා අපිට බනින එකමයි වැඩේ. ඉවසලා බැරිම තැන තමයි එහෙම කෙළේ.." දියණිය එසේ පැවසුවා.
පිළිස්සීම හේතුවෙන් ඇති වූ තුවාල මත මේ මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදි හෙළි වුනා.
දැන් මවත් පියාත් දෙදෙනාම මිය ගොසිනුයි. මොවුන්ගේ භාරකාරීත්වය ඇත්තේ ලේලියටයි. අන්ත අසරණ ඇයට කර කියා ගත හැකි දෙයක් තිබුනේ නැහැ. අවසානයේ පොලිසියේ මැදිහත් වීමෙන් මේ දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවා.
විනීතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article