කොරෝනා අසාදනය වී මියගිය කාන්තාවගේ සැමියාත් සතියකට පෙර මියගිහින් - සාමාන්‍ය ලෙස භූමදානයත් කරලා
Thursday, 10 December 2020 - 9:13 | Views - 712
.jpg)
මහනුවර - මහයියාව ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වී පෙරේදා මියගිය 63 හැවිරිදි කාන්තාවගේ සැමියා ඊට සතියකට පමණ පෙර මියගොස් ඇති අතර, ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කරනවා.
පසුගිය 28 වනදා මියගිය අදාළ පුද්ගලයාගේ දේහය සාමාන්‍ය මළ සිරුරක් භූමදානය කරන ආකාරයෙන් ග්‍රාම නිලධාරී දැනුවත්ව මහයියාව පොදු සුසාන භූමියේදී භූමදාන කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ දේහය භූමදානය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ මහනුවර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මරණයක් සිදුවන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර නිරෝධායන නීතීන්ට යටත්ව අවසන් කටයුතු සිදුකළ යුතුව තිබුණද අදාළ දේහය පිළිබඳ අවසන් කටයුතු එලෙස සිදු නොකිරීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.
ඊයේත් නව ආසාදිතයන් 697 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගියා.
ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 30,075 ක් ලෙසයි.
ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 43 දෙනෙකුද හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 26,516 දක්වා ඉහළ යනවා.
එමෙන්ම කැනඩාවේ සිට පැමිණි දෙදෙනෙකු සහ පාකිස්ථානයේ සිට පැමිණි අයෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගැනුනා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 8,131 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 21,800 ක්.
එමෙන්ම නව මරණ දෙකක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගියා.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින විස්සක් වයසැති බිළිඳෙකු, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පෙරේදා මියගියේ ලේ විසවීම, බහුඉන්ද්‍රීය අක්‍රියවීම සහ කොවිඩ් නියුමෝනියා තත්වයෙන්.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ක පිරිමි පුද්ගලයෙකුද මුල්ලේරියාව මූලික රෝහලේදී ඊයේ මියගියා.
කොළඹ පෞද්ගලික රෝහලක සිට මොහු මෙම රෝහලට මාරුකර යවා ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
මේ අතර වැලිගම නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 319 ක් අතරින් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ ආසාදිතයන් වාර්තාවූ ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ආණ්ඩුකාරවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර භාවිත කිරිමන් පසු ඉවතලන මුව ආවරණ අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා වසංගත තත්වය ඉහළ යාමටත්, එම වෛරසය ජලමූලාශ්‍රවලට එක්වීමෙන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
සිය අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම වසරේ මාර්තු 17 වනදා සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා කාලය තුළ මුව ආවරණ ටොන් 495 ක් මෙරටට ආනයනය කර ඇති බවයි.
එමෙන්ම රට තුළ මේ වනවිට මුව ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා ගණනාවක් පිහිටුවා ඇති අතර, මේ සියල්ලෙන්ම පරිසරයට එක්වන මුහුණු ආවරණ ඉදිරියේදී බරපතල පාරිසරික ගැටළු නිර්මාණය කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම මැදපෙරදිග රටවල් තුනක සිට ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 40 දෙනෙකු, කටාරයේ සිට 29 දෙනෙකු සහ ඕමානයේ සිට 50 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article