ඔහු අපිට එන්න කියලා, කරුණාකරලා ඔය දෙන්නා ඔය දෙන්නාගේ මුදල් නාස්ති කරගන්න එපා කිව්වා
Wednesday, 09 December 2020 - 11:27 | Views - 455

අපි එළිමහන් සංගීත ප්රසංගවලින් බැහැර වෙන්න බලපාපු හේතු කාරණා කිහිපයක් තිබුණා. පළමු කාරණය තමයි එළිමහත් ප්‍රසංග තුළ විනය කියන දේ පිළිබඳ ගැටලුවක් තියෙනවා.
ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න නිසා ඒවට බැටකන්න සිද්ධ වෙන්නේ වේදිකාවේ ඉන්න සංගීත කණ්ඩායමටයි. පසුගිය වසර විස්ස පුරාවටම මම එළිමහන් ප්‍රසංග වේදිකාව තුළදී අමිහිරි අද්දැකීම් රාශියකට මුහුණ දීලා තියෙනවා. මේ තත්ත්වය තුළ 2006 වසරේදී මම තීරණය කළා එළිමහන් ප්‍රසංග වේදිකාවෙන් ඔබ්බට ගිහින් ගෘහස්ථ ප්රශංග කලාවට අවතීරණ වෙන්නට.
කොවිඩ් - 19 නිසා ප්‍රසංග වේදිකාව අකර්මණ්‍ය වෙලා නේද?
ඇත්තටම ඔව්. මේ වෙනකොට සංගීත ක්ෂේත්රයේ සියලුම අංශයන් අඩපණ වෙලයි තියෙන්නේ. මේ කොරෝනා වසංගතයත් එක්ක විවාහ මංගල උත්සව පමණක් කරන්න අපට අවසර ලැබුණත් අද වෙනකොට ඒ සියල්ලම නැවතිලයි තියෙන්නේ.
ඒ හේතුවෙන් අපේ බැංකු ණය, වාහන රක්ෂණ හා වාහන ෆිනෑන්ස් සමාගම්වලට ගෙවන්න තියෙනවා. මේ අවස්ථාවේ මම රටේ සමස්ත සංගීත කණ්ඩායම් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ඉතාම පුංචි ඉල්ලීමක් කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.
විශේෂයෙන් බැංකු, රක්ෂණ සමාගම් හා ෆිනෑන්ස් කම්පැනිවලට දන්වලා රටේ යහපත් තත්ත්වයක් උදාවනතුරු අපේ රටේ අසරණ කලාකරුවන් උදෙසා අවුරුද්දකවත් සහන කාලයක් ලබාදෙන්න කියලා මම අපේ ජනධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
අපි තවමත් රසවිඳින්නේ ඔබේ පැරණි ගීත. අලුත් නිර්මාණයක්රසිකයන්ට දෙන්න අදහසක් නැද්ද?
මේ දවස්වල නිර්මාණකරණයට නම් විශාල ඉඩ ප්‍රස්තාවක් ලැබිලා තියෙනවා. මගේ අලුත් නිර්මාණ කිහිපයක්ම මේ දවස්වල කරගෙන යනවා. ඊට අමතරව මමයි මගේ දුවටයි ගායනා කරන්න ගීතයක් කරගෙන යනවා.
ඇයත් එම ගීතයේ ගායනයට සම්බන්ධ වෙලා සිටිනවා. මට ලොකු අසාවක් තිබ්බා දුව සමඟ ගීතයක් ගායනා කිරීමට. මේ ගීතය පියා සහ දුව අතර පවතින ප්‍රේමයේ බැඳීම විදහාපාන ලස්සන ගීතයක්. මේ ගීතය ලස්සන මියුසික් වීඩියෝවක් සමඟින්ම තව නොබෝ දිනකින් මගේ රසික පිරිසට දැකබලා ගන්න ඉඩ ප්‍රස්තාව ලැබෙයි.
දුවවත් ගායිකාවක් කරන්නද අදහස?
මම සෑමවිටම මාව සොයා ගත්ත කෙනෙක්. ඒ වගේම මගේ හීන සහ හැඟීම්වලට ඉඩදීපු කෙනෙක්. ඒ ගෞරවනීය සිතිවිල්ලම තමයි මගේ දරුවන්ටත් දීලා තියෙන්නේ. මම කිසිම විටකදී ඔවුන්ට බල කළේ නැහැ මේ දේවල් කරන්න කියලා. මම සෑම විටම උපදෙස් දුන්නේ එයාලගේ හැකියාව තේරුම් අරගෙන එයාලට දැනෙන දේ කරන්න කියලයි.
තාත්තා ගායකයෙක් වුණා කියලා පුතා, දුව ගායක, ගායිකාවෝ වෙන්න ඕනෑමයි කියන සම්ප්රදායක් ලෝකයේ නැහැ. දුව ගායනයට ගොඩක් දක්ෂයි. ඒ වගේම ඇය හොඳට ඉගෙන ගෙන උපාධියකුත් ලබාගත්තා. ඇය දැනට සොෆ්ට්වෙයා කම්පැනියක රැකියාවක් කරනවා. මම පූර්ණ නිදහස දුන්නා ඔවුන්ගේ ලෝකය ඔවුන්ටම විවර කරගන්න.
පුතාගේ අදහස වෙනම ක්ෂේත්රයක ගමන් කිරීම කියන්නේ ඇත්තද?
පුතා උසස් පෙළට තෝරාගෙන තිබුණේ වාණිජ විෂය ධාරාව. නමුත් විෂයන් තෝරාගෙන මාස තුනක් පමණ යනකොට ඔහු මටයි මගේ බිරියටයි එන්න කියලා කිව්වා. "කරුණාකරලා ඔය දෙන්නා ඔය දෙන්නාගේ මුදල් නාස්ති කරගන්න එපා. මගේ කාලය නාස්ති කරන්නත් එපා.
ඒ නිසා මට කැමැති දෙයක් කරන්න ඉඩ දෙනවාද" කියලා විවෘතව ඇහුවා. මම සතුටු වුණා කෙළින්ම ඇවිත් එයා එයාගේ අදහස මාත් එක්ක කතා කරපු එක ගැන. මම ඇහුවා "මොකක්ද ඔයාට වෙන් ඕන" කියලා. ඉන්පසුවයි කිව්වේ එයාට චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වෙන්න ඕනෑ කියලා. ඉතින් මම ඔහුගේ ගමනට ආශීර්වාද කරනවා.
සංගීත කණ්ඩයමේ සිටින සියලු දෙනාම එකතුකරලා එක කණ්ඩායමක් හැටියට තියාගන්න එක ලොකු වගකීමක් නේද?
ඇත්තටම ඔව්. ඕනෑම කණ්ඩායමක අභ්‍යන්තරයේ යම් යම් ගැටලු පැනනඟින්න පුළුවන්. නමුත් කණ්ඩායමේ නායකයාගේ වගකීම වියයුත්තේ එම ගැටලු නිරාකරණය කරගෙන කණ්ඩායමක් හැටියට ඉදිරියට යෑමයි. මේරියන්ස් සංගීත කණ්ඩායමට ස්ථිර පදනමක් තියෙනවා.
අපේ කණ්ඩායමට එන කෙනා කණ්ඩායමේ ස්වභාවය දැනගෙනයි පැමිණෙන්නේ. කණ්ඩායමේ නායකයා හැටියට මගේ කණ්ඩායමට පැමිණෙන කෙනාට මම මුලින්ම මගේ අරමුණ පැහැදිලිකර දෙනව. අනතුරුව ඔවුන්ට මගේ අරමුණ සමඟ වැඩ කිරීමට හැකියාව පවතිනවා දැයි ඔවුන්ගෙන් විමසා බලලා මම තීරණය කරනවා ඔවුන් එක්ක දිගටම වැඩ කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳ.
ඇතැම් සංගීත කණ්ඩායම් අද එනවා හෙට යනව, නමුත් මේරියන්ස් අඛණ්ඩව රැඳී සිටිනවා, මොකක්ද රහස?
සමාජය තුළ එකිනෙකාගේ හැකියාවන් පවතින්නේ විවිධ මට්ටම්වලින්. නමුත් මෙහි වැදගත්ම කාරණය වන්නේ නිසි කළමනාකාරීත්වයයි. මම අද ගොඩක් සතුටු වෙනවා ගායකයෙක් වුණාට වැඩිය සංගීත කණ්ඩායමක නායකයෙක් වීම ගැන. ඒ තුළින් මගේ ජිවිතයේ කළමනාකාරිත්වය පමණක් නෙවෙයි කණ්ඩායමේ ඉන්න හැමෝම ගැන හිතලා ගන්න ඕන තීන්දු තීරණ ගොඩක් මගේ ජීවිතයේ තිබුණා.
මම හිතනවා පෙරට වඩා අද මම කළමනාකාරීත්වය ගැන වැඩි අවධානයක් දක්වනවා කියලා. මම දකින විධියට යමෙක් රටේම දිඳුලන තරුවක් වුණත් තමා තුළ නිසි කළමනාකාරීත්වයක් නැතිනම් ඒ තරුව ඔහුට හෝ ඇයට බොහෝ කාලයක් රැකඟන්න හැකියාව ලැබෙන්නේ නැහැ.
නමුත් තමාගේ ජීවිතය නිසි කළමනාකාරිත්වයකට අනුව ගෙවනවා නම් තමාට බොහෝ දෙනාගේ ආදරය මධ්‍යයේ දීර්ඝ කාලයක් වැජඹෙන්න අවස්ථාව ලැබෙනවා. මේරියන්ස් සංගීත කණ්ඩායම වසර 32ක් වැනි දීර්ඝ කාලයක් බොහෝ රසික හදවත් වැලද ගැනීමේ රහස එයයි.
පසුගිය දිනෙක සමරපු උපන්දිනය ගැන කතාබහට ලක් වුණා නේද?
මේක ජිවිතයේ අමතක නොවන උපන්දින සැමරුම කිව්වොත් වඩාත් නිවැරැදියි. මගේ ආදරණීය බිරියත් රොෂාන් ප්‍රනාන්දු කියන ජපානයේ ඉන්න මගේ හොඳම යාළුවා සහ මගේ සංගීත කණ්ඩායමේ ඉන්න සහෝදර පිරිස එකතුවෙලා මට කිසිදාක අමතක නොවන Surprise එකක් දුන්නා. එදින රාත්‍රියේ මගේ බිරිය, දුව සහ පුතා මාව Diner එකකට එක්කත් ගියා. ඇත්තටම ඒ රාත්‍රිය මට වචනවලට විස්තර කරන්න බැරි තරම් පී‍්‍රතියෙන් පිරීගිය රාත්‍රියක් වුණා.
එදින පිටරටවල ඉන්න මගේ යාළුවෝ පවා වීඩියෝ කෝල් අරගෙන, කෙටි පණිවුඩ එවලා ඔවුන් හැමෝගෙම ආදරය මට ලබා දුන්නා. මට එදා තමයි දැනුනේ මේ තරම් ආදරය කරන රසික පිරිසක් මා වටා ඉන්නවා කියලා.
ඔබේ කී වැනි උපන්දින සැමරුමද මේ?
මෙවර සැමරුවේ මගේ 51 වැනි ජන්මදින සැමරුමයි.
අනාගත සැලසුම් මොනවාද?
කලාව තුළ නැවැත හිට්වෙන සිංදුවක් කරන්න තරම් උණක් දැන් මට නැහැ. මම දැන් අවුරුදු 51ක වැඩිහිටියෙක්. මගේ ජීවිතයේ අවසාන කාලයයි මේ ගතවෙන්නේ. මේ රටේ තරුණ පරපුරට සහ දුවා දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම කරවීම මා සතු වගකීමක්.
ඒ වගේම ඉදිරියේදී සමාජයට හොඳ දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ ඉතිරි කාලය සමාජ සේවා කටයුතු, සමාජයේ පොදු කටයුතු හා සංගීත ක්ෂේත්රයට එන නවක ශිල්පීන්ට මතුවන ගැටලුවලට විසඳුම් සොයා දීම් වැනි ක්‍රියාදාමයන් එක්ක එකතුවෙලා ජීවිතය ගෙවන්නයි බලාපොරාත්තු වෙන්නේ.
නිශාන්ත රණබාහු
මව්බිම
Share This Article