සිය බිරිඳ වූ නිසංසලාට උදලු බඳෙන් ගසා, සැමියා ගෙදරින් පනී - පහර කෑ බිරිඳ හලාවත රෝහලේදී අවසන් ගමන් යයි
Tuesday, 08 December 2020 - 14:16 | Views - 527

සිය ස්වාමියාගෙන් උදලු බඳ ප්රහාරයක් කෑ බිරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (07දා) අලුයම මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම මණ්ඩලාන ප්රදේශයේ පදිංචි නිසංසලා සරෝජනී නමැති 38 හැවිරිදි තිදරු මවකි.
ප්රහාරය එල්ල කළ බව පැවසෙන මරණකාරියගේ ස්වාමියා මේ වන විට ප්රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම ඝාතනය සඳහා ඝාතකයා උදලු බඳක් උපයෝගී කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
මෙම පහරදීම පිළිබඳව 119 ඔස්සේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්රියාත්මක වූ හලාවත පොලිසිය එම ස්ථානයට පැමිණ 1990 ගිලන් රථය එම ස්ථානයට ගෙන්වා ලේ විලක වැටී සිටි තුවාලකාරිය හලාවත රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
මරණකාරියට අවුරුදු 20, 18 සහ 14 වයසේ දරුවන් තිදෙනකු ඇති අතර එක් දරුවකු පාසල් යන බව පැවැසේ. දරුවන් පවසන අන්දමට දෙදෙනා අතර බහින්බස් වීමකින් අනතුරුව මෙසේ උදලු බඳෙන් මවට තම පියා විසින් පහර දී ඇති බව පොලිසියට පවසා ඇත.
බරපතළ තුවාල ලබා සිටි ඇය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මරණයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණය සම්බන්ධයෙන් ඊයේ (07දා) ස්ථානීය පරීක්ෂණයක් සිද්ධිය සිදුවූ ස්ථානයේදී සහ මහෙස්ත්රාත් පරීක්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තිලක බණ්ඩාර හේරත් මහතාගේ ප්රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
වීහේණ අනුරාධ
මව්බිම පුවත්පතෙන් උපුටා ගනු ලැබූවකි.
Share This Article