තිහාරියෙනුත් පී.සී.ආර්. ප්‍රතික්ෂේප කරන්නන් ගැන තොරතුරු
Tuesday, 08 December 2020 - 9:17 | Views - 329

තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගියා.
නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ අවුරුදු 62 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මොහු කොළඹ ජාතික රෝහලේ සිට මෙලෙස හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
කොවිඩ් නියුමෝනියා තත්වය මරණයට හේතුව බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.
කොළඹ 13 - ජම්පටා වීථියේ පදිංචි අවුරුදු 77 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු ඊයේ මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේදිමයි. මොහු කොළඹ ජාතික රෝහලේ සිට මෙලෙස මාරුකර යවා ඇති අතර, කොරෝනා ආසාදනය සහ දියවැඩියාව සමඟ ඇතිවූ ලේ විෂවීමක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.
ඊයේ දිනයේදී නව ආසාදිතයන් 703 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් 28,580 දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන්ගෙන් 466 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, තවත් 237 දෙනෙකු බන්ධනාගාර කොවිඞ් පොකුරේ ආසාදිතයන් වනවා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 25,025 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොරෝනා ආසාදිතයන් 7,634 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 20,804 ක්.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 11,077 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6,521 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,333 දෙනෙක් ද වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර ගම්පහ - තිහාරිය ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බවට දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය චෝදනා කරනවා. එසේ වුවහොත් තිහාරිය ප්‍රදේශය හුදකලා කිරීමටද සිදුවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම තත්වයම අටළුගම ප්‍රදේශයෙන්ද මීට පෙර වාර්තාවූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ ඉල්ලා සිටියේ ඒ සඳහා ආරක්ෂක අංශවල සහය අපේක්ෂා කරන බවයි.
මැදපෙරදිග රටවල් තුනක රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 44 දෙනෙකු, කටාරයේ දෝහා හි සිට 147 දෙනෙකු මෙලෙස පැමිණි පිරිස අතරට ඇතුළත්. ඊට අමතරව බහරේනයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට මුහුණදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 290 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණියා.
මේ අතර කොවිඞ් 19 අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කෙරෙන ආසියානු පැසිෆික් මහජන සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක සැසිය කොළඹදී අද ආරම්භ වනවා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී එය ආරම්භ වන අතර, මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ රටවල් 40 ක මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින් මෙන්ම වෛද්‍යවරුන් ඊට එක්වීමට නියමිතයි. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙය සංවිධාන කර තිබෙනවා.
Share This Article