සාමාන්‍යයෙන් කීයටද කුස්සියට එන්නේ
කුස්සියේ වැඩ මම උදේ හයට පටන් ගන්නවා නම් උදේ අවදි වෙන්නේ හතරාමාරට විතර. නැගිටලා හොඳට බොඩිවොෂ් එකක් දාලා, ඊට පස්සේ ලස්සන ඇඳුමක් ඇඳගෙන මල්කඩලා බුදුන් වඳිනවා. ටික වෙලාවක් භාවනා කරනවා. ඊට පස්සේ තමයි කුස්සියට යන්නේ. ගිය ගමන්ම මද උණුසුම් ලොකු වතුර විදූරුවක් බොනවා. ඊට පස්සේ තමයි ඉතිං තේ එකක් බීලා අවශ්‍ය විදිහට කෑම බීම පිළියෙළ කරන්නේ.
කුස්සියේ කොච්චර වෙලාවක් රැඳෙනවාද?
උයන වැඩ ටික ඉක්මනින් ඉක්මනින් කරන පුරුද්දක් මට තියෙනවා. අනිත් දේ තමයි පලාවර්ග එහෙම ගෙනාවාම තෝරලා හෝදලා වතුර ඉවත් වෙන්න තියලා කඩදාසි කොළ වල ඔතලා තියෙනවා. ඒවා වගේ පුංචි පුංචි දේවල් වලින් උයනකොට කාලය ඉතුරු වෙනවා. උදේට පොල් එකවර ගාලා හවසට, රෑට හදන කෑමවලටත් තියා ගන්නවා. පොල් කිරි ඉතුරු වුණත් ඒවා ශීතකරණයේ තියලා භාවිතයට ගන්නවා. දෙහිගෙඩිය කපලා බෑයක් ඉතුරු වුණොත් ඒකත් ආයේ ප්‍රයෝජනයට ගන්න අසුරලා තියෙනවා. මම කුස්සියේ නැති වුණත් කුස්සියේ වැඩට ඉන්න කෙනෙකුට වුණත් අරක හොය හොය මේක හොය හොය ඉන්න නැති විදිහට මම හැමදේම මනා කළමනාකාරිත්වයකින් අසුරලා තියෙනවා. ඒ නිසා මම නැති වෙලාවට වුණත් වැඩට ඉන්න අයට හරි කුස්සියේ වැඩ කරන්න හරිම ලේසියි.
• ශ්‍රියන්ත අයියා එහෙම කුස්සියේදි උයන පිහන වැඩවලට උදව් කරන්න එන්නැද්ද?
‘‘අම්මෝ එනවා එනවා’’ එයා ආවාම කුස්සිය ටිකක් හැඩිවෙනවා වගේ නිසා හිත රිදෙන්නේ නැති වෙන්න ෂේප් එකේ මම ආයේ එයාව ඉස්සරහට යවනවා. මම ආසම, මම කුස්සියේ වැඩ කරන වෙලාවට මගේ චූටි දුව එනවාට. පුංචි වුණත් එයාගේ වැඩ මම වගේම හරිම පිළිවෙලයි. ඒ වගේමයි උයන පිහන වැඩත් ඕන දෙයක් පුළුවන්. පලා කොළ වර්ග එහෙම කපනවා ඇහේ දැම්මා වගේ.
• මොනවගේ කෑමද කුස්සියේ ඉඳන් රසට හදන්නේ
ඕනෑම කෑමක් ලුණු, ඇඹුල් ඇතුව පදමට හදන්න පුළුවන්. මොන තරම් රසට කෑම හඳන්න පුළුවන් වුණත් දැන්නම් මූලික තැන දෙන්නේ ගුණයට සහ පෝෂණයට. තෙල්, සීනි, පිටි හරිම අඩුවෙන් භාවිත කරන්නේ. මම හඳන කෑම වලින් ගෙදර හැමෝම වැඩිපුරම කන්න කැමති එළවළු සළාදයට. රෑට ගොඩක් වෙලාවට ශ්‍රියන්තගෙයි, මගෙයි ප්‍රධානම ආහාරය වන්නේ එළවළු සලාදය.
ඔලිව් තෙල් බිංදු කිහිපයක්, මිංචි කොළ, කොත්තමල්ලි කොළ දාලා හඳන එළවළු සලාදයට මගේ මිණිබිරියත් හරිම ආසයි.
• කුස්සියේ ඉන්න වෙලාවට රේඩියෝ අහන එක හරි ටී.වී. බලන එක හරි කරනවාද?
උවමනාවෙන්ම ඒ වගේ පුරුදු වලින් ඉවත් වෙල ඉන්නේ. සම්මා සතිය ඒ කියන්නේ නිවැරදි සිහියකින් කරන හැම වැඩක්ම කරනවා නම්, ඒ වැඩෙත් හරියට කෙරෙනවා. කුසලයකුත් අපිට ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. කුස්සියේ වැඩ බොහෝ විට මගේ අතින් වෙන්නේ සම්මා සතියෙන්. එළවළුවක් අතට ගත්තාම, මේ එළවළුව ඉතා පහසුවෙන් මම මිලදී ගත්තත්, මේ වෙනුවෙන් කී දෙනෙක් වෙහෙස මහන්සි වෙලා තියෙනවාද? ඒ හැම දෙනාටම මාගේ කුසගින්න නිවාගන්න උපකාරී වුණාට බොහෝ පිං කියලා හිතනවා. ඉඳුල් වතුර ටික සිංක් එකට හළනකොටත් හිතනවා අපට ඇසට නොපෙනෙන. කාණුවල සිටින සතුන්ට මෙය ආහාරයක් වේවා කියලා හිතනවා. කාණුවේ ඇතුළේ ඉන්න පුංචිම සතෙක් හරි මැරෙයි කියලා අල තම්බපු වතුර ටිකක්වත් රස්නෙන් සිංක් එකට දාන්නේ නෑ. ඒ හැමදේම පුංචි කාලෙදි තාත්තා මට කියලා දීලා තියෙනවා. හිත එක තැනක තියාගෙන වැඩ නොකළොත් කුස්සියේදී වුණත් අපේ අතින් පුංචි පුංචි අකුසල් පවා වෙන්න පුළුවන්. ඒ නිසා දැන්නම් මට හිතෙන්නේ උයලා ඉවර වෙනකොට භාවනාවක් කළා වගේ මනසට නිදහස් බවක්.
• කුස්සිය අස්කරන්න කොච්චර වෙලාවක් යනවාද?
උයනකොටම, පාවිච්චියට ගන්න උපකරණ හෝද හෝද රක්කෙන් වතුර බේරෙන්න තියෙනවා. හොද්ද ලිපේ ඉදෙනකොට මම කුස්සියේ භාවිතයට ගත්ත උපකරණ හෝදලා, පිහිදාලා, කබඩ්වලටත් දාලා ඉවරයි. ඒ නිසා උයලා ඉවර වෙනකොට කුස්සිය අස්කරන්න ඕනෙ කියලා දෙයක් ඉතුරු වෙන්නෑ. ඒ වෙනුවෙන් වෙනමම වෙලාවක් ගත වන්නෙත් නෑ.
• කාන්තාව කුස්සියට කොටු වුණ කෙනෙක් විදිහටද ඔබත් දකින්නේ.
නැහැ. ඒ ඉස්සර තමයි කුස්සියට කොටු වුණ චරිතයක් බවට කාන්තාව පත් වුණේ. දැං මං හිතන්නේ ඉතාම ඉක්මනින් වැඩකරගන්න පුළුවන් උපකරණත් තියෙන නිසාත්, කාන්තාව විවිධ දක්ෂතාවලින් පරිපූර්ණ නිසාත්, ඒ අදහස යටගිහින් තියෙන්නේ. මමවත් ඔබ කියන විදිහට කුස්සියට කොටු වෙලා නෑ. ඉවුම් පිහුම් කටයුතු ඉක්මනින් ඉවර කරලා මැහුම් ගෙතුම් වැඩවලට, නිවස අලංකාර කරන කටයුතුවලට යනවා. ඇත්තටම උයනවා කියන එක වදයක් කරගෙනත් නෑ. කුස්සියට කොටුවෙලත් නෑ.
• මුළුතැන්ගෙයි ඉන්නම ආස වෙලාව
ලොකු දුවත් ගෙදර ඇවිල්ලා අපි හැමෝම හවසට මොනවා හරි හදාගෙන පැන්ට්‍රියේ මේසයට වෙලා තේ බිබී සතුටු සාමිච්චියේ යෙදෙන වෙලාවට තමයි මම ආසම. ඒ වෙලාවට දුවලා දෙන්නත් එක්ක එකතු වෙලා මොනවා හරි අතුරුපසක් හදලා තේ බොනවා. අනේ ඒ සුන්දර අත්දැකීමට නම් මම ගොඩක් ආසයි.
• කුස්සියේදී ඔබම අනුගමනය කරන පිළිවෙත් මොනවාද?
ම්..... මම පුරුද්දක් විදිහට රාත්‍රි ඇඳුමෙන් කුස්සියට යන්නේ නෑ. මම හිතනවා උදේ අවදි වුණාම අපි අලුත් සිතුවිල්ලකින් දවස ආරම්භ කරන්න ඕනේ කියලා. ඒ සිතුවිල්ල නැවුම්ව ආරම්භ කිරීමට නම් අපිත් සූදානම් විය යුතුයි. ඒ නිසා මොනතරම් රෑ වුණත් කුස්සිය අස්කරලා නින්දට යන්නේ පසුදින අලුතින්ම හදපු කුස්සියක අලුතින් වැඩ කරනවා කියන අදහසින් දවස පටන් ගන්න කියලා හිතලා.
අසුන්තා එදිරිසූරිය
