ඇත්තටම මගේ ගෙදර ආහාර පිළියෙල කිරීමේ කටයුතු,පිරිසිදු කිරීමේ කටයුතු ආදී සියලුම දේ මමම තමයි සිදු කරන්නේ
Monday, 07 December 2020 - 14:34 | Views - 299

ඇත්තටම මේ දිනවල 100%ක්ම ආරක්ෂිත විධිවිධාන සහ ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් රාජකාරි කටයුතුවල නියැළී සිටිනවා.
ජාතික රෝහල තුළ හදිසි අනතුරු අංශයේ මගේ ඒකකය තමයි රෝගීන් වර්ගීකරණ ඒකකය වන්නේ. දිනකට හදිසි අනතුරු රෝගීන් 250-300ක් පමණ පැමිණෙනවා. නමුත් මේ පසුගිය දිනවලදී නම් කොවිඩ් තත්ත්වයත් සමඟ කොළඹ අවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ නිසා එම ප්‍රමාණය රෝගීන් 100කට පමණ සීමා වුණා.
කෙසේ නමුත් සෑම විටම අප හදිසි අනතුරු රෝගීන් වෙනුවෙන් සහ කොවිඩ් වැනි ව්‍යසනයන්ට ගොඳුරු වූ රෝගීන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සහ සූදානමින් පසුවනවා. මගේ අංශය තුළ මේ වනවිට කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයකට ප්‍රතිකාර ලබාදී තිබෙනවා. ඉතින් ඔහොම තමයි සුපුරුදු විදියට රෝහලේ කටයුතුවලට දායක වෙමින් ඉන්නේ.
කොවිඩ් වසංගතයට සමාජය කෙසේ මුහුණ දිය යුතුයි කියලද ඔබ යෝජනා කරන්නේ?
මූලික වශයෙන්ම මුව ආවරණ පැලඳීම, නිතරම දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී මූලික කරුණු පිළිබඳ දැනටමත් අප දැනුවත් වී අවසානයි. ඉන් ඔබ්බට ගොස් සමාජය තුළදී අප හමුවට පැමිණෙන විවිධ රෝගාබාධ, වයිරස් ආදිය සඳහා අප තුළ පවතින ප්‍රතිශක්තිකරණ හැකියාව බාධකයක් ලෙසින් භාවිත කළ යුත්තේ කෙසේ දැයි දැනගත යුතුයි. ඒ සඳහා පළමුවෙන්ම පිෂ්ඨය, මේදය සහ සීනි අධික ආහාරවලින් තොරවූ පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබාගත යුතුයි. බේකරි නිෂ්පාදන හැකිතාක් අවම කොට නිවුඩු සහල්, දේශීය එළවළු, පලතුරු ආදියට යොමු විය යුතුයි. එමඟින් අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරගත හැකියි.
දෙවැනුව සිරුරට අවශ්‍ය ප්‍රමාණයට දිනකට ජලය වීදුරු 8 - 10ක් පමණ පානය කිරීම අවශ්‍යයි. දෛනිකව පැය 7-8 සුව නින්දක් ලබා ගැනීම තුන්වැනි කාරණාවයි. නින්ද තුළින් අපගේ මානසික ආතතිය අවම වීම සිදුවේ.
දිනකට විනාඩි 20ක් පමණ ව්‍යායාමවල නිරත වීමද අනිවාර්යයෙන්ම කළ යුතුයි.
මත්පැන්, දුම්වැටි ආදිය භාවිතය හැකිතාක් අවම කිරීමත් අත්‍යවශ්‍යයි.
ඊට අමතරව උණ, හිසරදය, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී මොනයම් හෝ රෝග ලක්ෂණයක් පහළ වූ විගස හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් දැනුවත් කිරීමත් 1390 1990 අමතා අදාළ උපදෙස් ලබා ගැනීමත් කළ යුතුයි.
මේ දිනවල පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
ඇත්තටම මගේ නිවෙසෙහි ආහාර පිළියෙල කිරීමේ කටයුතු, පිරිසුදු කිරීමේ කටයුතු ආදී සියලුම දේ මමම තමයි සිදු කරන්නේ. මගේ මව පියා දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නැහැ. එනිසා මගේ අසල්වාසීන් විදියට ඉන්නේ මගේ අක්කා. ඇත්තටම තමාගේ වැඩ කටයුතු තමා විසින්ම සිදුකර ගැනීම ඉතාම සුදුසුයි. නැතහොත් තමන් ක්‍රියාශීලී බවින් අඩු අලස පුද්ගලයකු බවට පත් විය හැකියි.
ඒ නිසා මගේ නිවෙස නිතරම හරිම පිරිසිදුයි. අපේ ගොඩක් ගෘහණියන් කරන වැරැදි ක්‍රියාවක් තමයි කවුරුන් හෝ ඥාතියකු පැමිණෙන විටදී උත්සව අවස්ථාවක් පැමිණෙන විටදී විතරයි නිවෙස පිරිසුදු කරන්නේ. ඉතින් ඒ වැරැදි පුරුද්දෙන් අපි මිදිය යුතුයි.
මම නිර්මාංසික කෙනෙක්. ඒ නිසා මම නිතරම සමබල ආහාර වර්ග තෝරා ගැනීමට උත්සාහ ගන්නවා. ඊට අමතරව මට අවශ්‍ය විවිධ පලා වර්ග මගේ නිවෙස තුළ වගා කොට තිබෙනවා. එමෙන්ම මම නිවෙස තුළදී දිනකට විනාඩි කිහිපයක් ව්‍යායාම් කිරීමට අමතක කරන්නේ නැහැ.
දිනූෂා මනෝරි නිශ්ශංක
මව්බිම - හදගැස්ම
Share This Article