එගොඩඋයනේ ඛේදවාචකයේ මල්කැකුළු අද සමුගනී
Monday, 07 December 2020 - 13:38 | Views - 26,031

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මතදී යතුරු පැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරිමට නියමිතයි.
මේ වනවිට එම දේහයන් තැන්පත් කර ඇත්තේ ඔවුන්ගේ ඥාතියෙකුගේ නිවසකයි.
පානදුර, මොරටුව, එගොඩඋයන, නව ගාලු පාරේ පදික මාරුවේදී යතුරු පැදියක ගැටීමෙන් වයස අවුරුද්දක සහ අවුරුදු 7 ක දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ මව බරපතළ තුවාල ලබා මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
23 හැවිරිදි සිව් මස් ගැබිණි කාන්තාවක් වූ ඇයගේ දරු ගැබද අනතුර හේතුවෙන් විනාශ වී තිබුණා.
මියගිය දැරියන් දෙදෙනාගේ දේහයන් සහ එම කලලයද මේ වනවිට තැන්පත් කර ඇත්තේ ඥාතියෙකුගේ නිවසේයි.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මොරටුව ශාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ මීට දින කිහිපයකට පෙර මහ මග තරගයට යතුරු පැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මුදාහැරුණු 20 හැවිරිදි තරුණයෙක්.
මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ, කොළඹ, ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇතැම් තරුණයින් රාත්‍රී කාලයේ පුරුද්දක් ලෙස මෙලෙස වේගයෙන් යතුරු පැදි ඇතුළු රිය පැදවීමේ නිරත වන බවයි.
ඊයේ පස්වරුවේද කිඹුලාවල සිට නවරෝහල පාර ප්‍රදේශයේ එලෙස අධික වේගයෙන් යතුරු පැදි ධාවනය වන බවට ලද තොරතුරක් මත මිරිහාන පොලීසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එහිදී යතුරුපැදි කරුවන් 40 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ විවිධ මාදිලිවල යතුරු පැදි 23 ක්ද සමගින්.
පොලීසිය පැවසුවේ, මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කර තිබූ යතුරු පැදි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
අනාරක්ෂිත ආකාරයෙන් රාත්‍රී කාලයේදී සිදුවන මෙවැනි යතුරුපැදි ධාවන තරග වැටලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ආජිත් රෝහණ මහතා පැවසුවා.
Share This Article