ජපන් තරුණිය විවාහ කරදෙන්න මව කැමති වෙයි - තරුණයාට ඇප
Friday, 04 December 2020 - 10:03 | Views - 200

ජපන් ජාතික තරුණියක ශ්‍රී ලංකාවට රැගෙනවිත් අපහරණයට ලක්කළ බවට චෝදනා ලබා සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම තරුණියගේ පෙම්වතා ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය ඊයේ (03) නියෝග කළාය.
ලක්ෂ 5 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මෙසේ මුදාහරිනු ලැබුවේ කොච්චිකඩේ දළුවාකොටුවේ පදිංචිකරුවකු වන 24 වියැති කසුන් මධුශංක බණ්ඩාර නමැත්තෙකි.
තරුණියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාරදීමෙන් පසුව සැකකාර පෙම්වතාට මාසයකට දින දෙකක් තරුණිය ඇය නවතා සිටින ළමා නිවාසයේදී හමුවීමට අවසර ලබා දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
රජයේ භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් තරුණියගෙන් නැවත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොච්චිකඩේ පොලිසිය කළ ඉල්ලීමට ද අධිකරණයේ අවසරය ලැබිණි.
නිතිඥ ශලනි ධම්මිකා ද සිල්වා මහත්මිය සහ චන්ද්‍රා ජයසේන මහතා සමග පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ වීරසූරිය මහතා, මවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පතිරණ මහතා පෙර නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටියේ ජපන් තානාපති කාර්යාලය වෙනුවෙන් බව නඩු වර්තාවේ සඳහන් වෙනවා.
පොලිසිය ජපන් තරුණියගෙන් ප්‍රකාශය සටහන් කරගැනීමේදී ඇයගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර ඇත්තේ ද මෙම නීතිඥ මහතායි.
"52 හැවිරිදි තම මව සහ 26 හැවිරිදි කටානේ පදිංචි ඇයගේ ශ්‍රී ලාංකික සමීප හිතවතා සමග 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සිදුවූ කරදරයක් පිළිබඳව සිදුකළ හෙළිදරව් කිරීම නිවැරැදිව පරිවර්තනය කර නැහැ. එම නිසා තරුණිය ප්‍රකාශ කරන එම කරුණු පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස කොච්චිකඩේ පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා.
ජපන් තානාපති කාර්යාලයෙන් විමසූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මෙම නීතිඥ මහතාට අවසරයක් ලබාදී නැති බව දැනගන්ට ලැබුණා. මෙම කරුණ පිළිබඳව නීතිඥ සංගමයට පැමිණිලි කරනවා."
මෙහිදී තරුණියගේ මව වෙනුවෙන් ජනක තුම්බෝවිල සමන් සිල්වා සමග පෙනී සිටි නීතිඥ ඩී.කේ. පතිරණ මහතා.
තමන් ජපන් භාෂා පරිවර්තකයකු ලෙස ජපන් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවත් පොලිසියේදී තරුණියගේ ප්‍රකාශය පරිවර්තනය කිරීම සඳහා ඉදිරිපත් වූයේ ස්වේව්ඡාවෙන් බව ද ඒ සඳහා කිසිම ගාස්තුවක් ලබා නොගත් බවත් තමන්ට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
තරුණිය ජපන් නීතියට අනුව විවාහ වීමේ වයස වන අවුරුදු 16 ඉක්මවා ඇති බැවින් සහ ඇය දැනට සිටින තත්ත්වයත් දියණියගේ අනාගතය ගැනත් සලකා දියණියගේ පෙම්වතාට ඇය විවාහ කරදීමට තරුණියගේ මව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද නීතිඥ ඩී.කේ. පතිරණ මහතා අධිකරණය හමුවේ පැවසීය.
2021 මාර්තු මස 18 වන දින මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා කැඳවීමට දින නියම විය.
බර්ටි වීරසිංහ - කටාන / නිමන්ති ප්‍රනාන්දු - මීගමුව
මව්බිම
Share This Article