පොල් වතුර - කුරුම්බා බීලා ප්‍රතිශක්තිකරණය වැඩි කරගත හැකියි
Friday, 04 December 2020 - 8:45 | Views - 3,075

අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල් නැති නැවුම් එළවළු හා පලතුරු ඔබට ලබා ගන්න පුළුවන් නම් පවතින කොරෝනා තත්ත්වය හමුවේ එය ඔබේ මුළු ශරීරයේම ශක්තිය හා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගන්න ඉවහල් වෙනවා’’ යැයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනෙවිය පැවසුවාය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය මනාව පවත්වාගෙන යෑමට යහපත් ආහාර රටාවක් පවත්වාගෙන යෑමෙන් එම රෝගයෙන් මිදිය හැකි බව ද ඇය කියා සිටියා ය.
මෙහිදී තවදුරටත් කතා කළ පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනෙවිය මෙසේ ද කියා සිටියා ය.
ඒ වගේම මේ කාලයේදී වතුර පානය කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ විතරක් නොවෙයි පොල් වතුර, කුරුම්බා, තැඹිලි, කොළ කැඳ වැනි දේවල් පානය කිරීම තුළින් ඔබට ඉතා හොඳ ප්‍රතිශක්තියක් සිරුර තුළ නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා.
එසේම සෑම මිනිසකුටම පැය 6 කට නොඅඩු නින්දක් අවශ්‍ය වෙනවා. ඒකට හේතුව තමයි ඔබ නිදා ගැනීමේදී ඔබේ ආතති තත්ත්වයන් ඔබේ සිරුරෙන් මඟ හැරලා දාන එක. ඔබ නිදා ගෙන සිටින විට ඔබේ සිරුරේ බාහිර ආක්රමණික තත්ත්වයන් හඳුනා ගෙන එයට සටන් කිරීමේ හැකියාව තිබෙන හෝමෝන නිෂ්පාදනය කරන බැවින් ඔබට අවශ්‍ය නින්ද ශරීර ප්‍රතිශක්තිකරණයට ඉතාමත් වැදගත් වෙනවා.
එමෙන්ම, ඔබ දිගින් දිගට ම දුම්පානය කරන කෙනෙක් නම් ඔබේ දුර්වලව තිබෙන පෙණහලූවලට කොරෝනා ඉතා වේගයෙන් ආසාදනය වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන දැඩිව අවධානය යොමු කරන්න. මේ වෙලාවේ දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් වළකින්නට අමතක කරන්න එපා. යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් අනිවාර්යයෙන්ම ඔබට මේ කොරෝනාවට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තිබෙනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
දිවයින
Share This Article