අධිකරණයේ ස්වාධීනත්වය රකින බවට ජනපතිගෙන් ප්‍රතිඥා
Wednesday, 02 December 2020 - 8:20 | Views - 479

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කිරීමට කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උපරිමාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 20 දෙනෙකු ඊයේ දිවුරුම් දුන් අවස්ථාව අමතමින්.
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් 6 දෙනෙකු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 14 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිලිප් නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන එහිදී දිවුරුම් දී තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ අර්ජුන ඔබේසේකරයි. මේනකා විජේසුන්දර, ඩී.එන්. සමරකෝන්, ප්‍රසන්ත ද සිල්වා, එම්.ටී.එම්. ලෆාර්, ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත් බී අභයකෝන්, එම්.එස්.කේ.බී. විජේරත්න, එස්.යූ.බී.කරලියද්ද, ආර්.ගුරුසිංහ, ජී.ඒ.ඩී.ගනේපොල, කේ.කේ.ඒ.වී.ස්වර්ණාධිපති, මායාදුන්න කොරයා, ප්රභාහරන් කුමාරරත්නම්, ඩබ්ලිව්.එන්.එන්.පී. ඉද්දවල අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නා.
මේ අතර, ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ දී ආරම්භ වූ ශ්‍රි ලංකා ආර්ථික සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.
පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සලකන අතර එම කීර්තිනාමය යතාර්ථයක් වීම සඳහා ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට වැඩි ප්රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන සිදුකළ යුතු බවද පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article