මැරඩෝනාගේ වෛද්‍යවරයාගේ නිවස සහ චිකිත්සාගාරය පොලිස් පරීක්ෂාවට
Tuesday, 01 December 2020 - 16:24 | Views - 448
වෛද්‍යවරයාගේ නිවස සහ චිකිත්සාගාරය පොලිස් පරීක්ෂාවට

මනුෂ්‍ය ඝාතනයක් සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා දියාගෝ මැරඩෝනා ගේ වෛද්‍යවරයා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට ආජන්ටිනාවේ නීති බලධාරීහු පියවර ගත්හ.

ඒ අනුව, මැරඩෝනාගේ වෛද්‍යවරයාගේ නිවස සහ පෞද්ගලික චිකිත්සාගාරය පොලිසිය විසින් සෝදිසි කරනු ලැබ තිබේ.

ලෝක පාපන්දු තරුවක් වූ දියාගෝ මැරඩෝනා සැත්කමකට භාජනය කිරීමෙන් පසුව වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවී ඇත්දැයි මෙහිදී සොයා බැලෙනු ඇත.

එම සැත්කමෙන් අනතුරුව තම නිවසේ සුවය ලබමින් සිටියදී, 60 හැවිරිදි මැරඩෝනා මිය ගියේ හෘදයාබාධයකට ලක් වීමෙනි.

වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ ට එරෙහිව තවමත් චෝදනා ගොනු කර නොමැත. තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බව ඔහු පවසයි.

මොළයේ තැන්පත් වූ රුධිර කැටියක් (brain blood clot) ඉවත් කිරීම සඳහා නොවැම්බර් මස මුලදී මැරඩෝනාට සිදු කළ සැත්කම සාර්ථක විය. එමෙන්ම, තදින් මත්පැන් පානයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව තිබිණි.

වෛද්‍යවරයා ගැන පරීක්ෂණය

ඉරිදා උදෑසන වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ ගේ නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් භටයන් 30 දෙනෙක් පමණ පැමිණියහ. තවත් පොලිස් භටයන් 20 දෙනෙක් පමණ වෛද්‍යවරයාගේ පෞද්ගලික චිකිත්සාගාරය වැටලූහ.

ආජන්ටිනාවේ නීති බලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම සඳහා නියෝග ලබා දී ඇත්තේ දියාගෝ මැරඩෝනා සිය නිවසේ ගත කළ අවසාන දවස පිළිබඳව පැහැදිලි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ය.

මෙහිදී පොලිසිය විසින් පරිගණක, ජංගම දුරකථන සහ වෛද්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂා කරනු ලැබ ඇතැයි බලධාරීහු පැවසුහ.

සැත්කමෙන් අනතුරුව නිවසේ සුවය ලැබීම සඳහා චිකිත්සාගාරයෙන් පිටත් කර හැරීමේ දී ඊට අවශ්‍ය පහසුකම් සපයා ඇත්දැයි යන්න පිළිබඳව සැක පහළ වී තිබේ.

මතට ඇබ්බැහි වූවකු වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥ දැනුමක් සහිත හෙද සේවාවක් පැය විසිහතර පුරාවටම ක්‍රියාත්මක වන පරිදි යෙදවීම, හදිසි අවස්ථාවක සේවය සඳහා වෛද්‍යවරයෙකු රාජකාරියේ යෙදවීම සහ හෘදයාබාධයකදී නැවත හෘදය ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ගන්නා උපකරණ සහිත ගිලන් රථයක් යෙදවීම වැනි කාරනා පිළිබඳව මෙහිදී සළකා බැලෙනු ඇත.

මැරඩෝනා නැවත සුවපත් කිරීම සඳහා සිය නිවසට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම වෛද්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව තොරතුරු බලධාරීන්ට දැනගැනීමට අවශ්‍යව තිබේ.

දියාගෝ මැරඩෝනා ගේ වෛද්‍යවරයා ඉරිදා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඉතා හැඟීම්බර විය. ඔහු හඬමින් කියා සිටියේ තම මිතුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළ හැකි සියල්ල කළ බවයි. මැරඩෝනා මෑතක සිට ඉතා දුකින් සිටි බව ද වෛද්‍ය ලුකේ තවදුරටත් කියා සිටියේය.

වරෙක ඔහු මාධ්‍යවේදීන් වෙත වාග්ප්‍රහාර එල්ල කළේය: "නුඹලාට අවශ්‍ය මම වග කියන්න ඕන මොනවටද කියලනේ? ඔහුට ආදරය කලාට, ඔහුව රැකබලා ගත්තාට, ඔහුගේ ජීවත් වන කාලය දිගු කලාට, අවසානය දක්වා ඔහුගේ ජීවිතය වඩා යහපත් තත්වයකට පත් කලාට."

බලධාරීන්ගේ සැලකිල්ලට භාජනය වී ඇති ඇතැම් කරුණු පිළිබඳව කතා කරමින් වෛද්‍යවරයා පල කළ අදහස් හේතුවෙන් ඔහුට නියම වී තිබූ රාජකාරිය කුමක් ද යන්න පිළිබඳව ගැටළු මතු වී තිබේ.

"ඔබ මගෙන් ඒ ගැන අහනවනම්, මම ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්. මගේ රාජකාරිය ඉවරයි. මම ඔහු වෙනුවෙන් කළ යුතු දේ කරල ඉවරයි." වෛද්‍ය ලුකේ එසේ පැවසුවේ නොවැම්බර් මස මුලදී සිදු කළ මොළයේ සැත්කමට අදාලව ය. එමෙන්ම, මැරඩෝනා සුවපත් වෙමින් සිටි කාලය තුළ නිවසට අවශ්‍ය පහසුකම් සැලසීම තමන්ගේ වගකීමක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

"ඔහු ඉතා දුකින් හිටියේ"

"ඔහු (මැරඩෝනා) පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යා යුතුව තිබුනා. ඔහු කැමති වුනේ නැහැ." වෛද්‍ය ලුකේ තවදුරටත් අදහස් පල කරමින් මැරඩෝනා හඳුන්වනු ලැබුවේ "පාලනය කළ නොහැකි" පුද්ගලයෙකු ලෙසිනි.

හෘදය වස්තුව නැවත පන ගැන්වීම සඳහා අවශ්‍ය කරන උපකරණයක් නිවසේ නොතිබීමට හෝ ගිලන් රථයක් මැරඩෝනා ගේ නිවස ඉදිරිපිට නොතිබීම පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බව ද වෛද්‍ය ලුකේ පැවසීය.

වෛද්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ද පැවසීය: "ඔහු (මැරඩෝනා) ඉතා දුකින් හිටියේ. ඔහුට තනි වෙන්න ඕන වුනා. ඒ ඔහුගේ දියණියන්ට, පවුලේ අයට හෝ ඔහු වටා සිටි අයට ආදරයක් නැති නිසා නොවෙයි."

BBC
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top