කොරෝනා මරණ ආදාහනය කිරීම අනිවාර්ය කර ඇති ගැසට්ටුවට එරෙහි පෙත්සම සලකා බැලීම අද
Tuesday, 01 December 2020 - 9:03 | Views - 296

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලෙනවා.
කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් ඊයේ සලකා බැලුවා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයකු භූමදානය කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හමුවී නොමැති බවයි.
අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ, මෙම පෙත්සම හරහා අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය කර තිබෙන්නේ සෞඛ්‍යමය කරුණක් බව පෙන්වා දුන්නා.
එබැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය විශේෂඥයින්ට පමණක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඒ පිළිබඳව අධිකරණයකට තීරණයක් ගත නොහැකි බවද කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් හා විද්‍යාඥයින් තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින පසුබිමක එම මෘත ශරීර භූමදානය කිරීමෙන් එම වෛරසය ව්‍යාප්තිය සිදුනොවන බවට අධිකරණ ශාලාව තුළ සිට පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
Share This Article