මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් 20,000 ඉක්මවයි
Tuesday, 01 December 2020 - 8:07 | Views - 305

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 20,000 සීමාව ඉක්මවා ගියා.
ඒ, ඊයේ දිනයේදී හඳුනාගත් නව ආසාදිතයින් 469 දෙනෙකු සමඟයි. ඒ අනුව මේ වනවිට එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,442 ක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,309 ක් ලෙසින්. වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 17,560 ක්.
එසේම, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වුණා. ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා පේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක්.
අටලුගම පදිංචි කාන්තාව නිවසේදී මියගොස් ඇති අතර, කොරෝනා සමඟ උග්‍ර වූ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය මරණයට හේතුව ලෙස දැක්වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ යනවා.
Share This Article