වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි
Monday, 30 November 2020 - 8:22 | Views - 304

නව කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමඟ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක්. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය කාන්තාවන් තිදෙනා 50, 51 සහ 90 හැවිරිදි වියේ පසුවන කොළඹ 02, මාතර - අකුරුස්ස සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.
කෙරෝනා වෛරසය සමඟ ඇති වූ නියුමෝනියා රෝගි තත්ත්වය හේතුවෙන් එම කාන්තාවන් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මියගිය පිරිමි පුද්ගලයින් අතර එක් අයෙක් ගොතටුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන අතර ඔහු කොවිඞ් නියුමෝනියා තත්ත්වය සහ දියවැඩියා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයා 73 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොරෝනා වෛරසය අසාදනයවීමත් සමඟ ඇති වු නියුමෝනියා රෝගි තත්ත්වය ඔහු මිය යාමට හේතුවයි. එමෙන්ම ජීවිතක්ෂයට පත්වු අනෙක් පුද්ගලයින් දෙදෙනා 70 සහ 78 හැවිරිදි වියේ පසුවන හලාවත සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මිය යාමට හේතුව අධික රුධිර පිඩනය සහ පෙනහලු අකර්මන්‍ය වීම බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නව ආසාදිතයින් 496 දෙනෙක් හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,484 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්රිත කොරෝනා පොකුර 19,946 ක් වනවා. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,002 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,366 ක් වනවා.
ඊයේ පස්වරුව වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව අසාදිතයින් 67 දෙනෙක් හමුවී ඇති අතර, ඉන් ආසාදිතයින්ගෙන් 34 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්. කැළණිය ප්‍රදේශයෙන් වෛරසය ආසාදනය වුවන් 9 දෙනෙකු හදුනාගත් බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කළේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට හඳුනා ගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 5278 ක්. මේ දක්වා සිදු කළ ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 79, 388 ක් බවයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණද කියා සිටියේ කළුතර, කුරුණෑගල, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් වෛරසය පැතිරිමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම, තම නිලධාරින් සමඟ කලහකාරි ලෙස හැසිරිමේ චෝදනාව මත ඉවත් කළ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා යළි එම ස්ථානයේම සේවයේ පිහිටුවීමට රජය ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධය පළ කරනවා. එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
මේ අතර, දෙසැම්බර් මාසය අවසානය වනවිට දිනකට පී.සී.ආර් පරික්ෂණ 20,000 සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
Share This Article