වන විනාශය මැඩපැවැත්වීමට ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්
Thursday, 26 November 2020 - 9:43 | Views - 522
වන විනාශය මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් නිරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.
නීතිවිරෝධීව වන සම්පත විනාශ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහු කියා සිටියේ දැව කැපීමට පෙර එවැනි උත්සහයන් හඳුනාගැනීමට අවශ්‍ය බවයි.
අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි යනුවෙන් නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.
එම අවස්ථාවට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ද එක්ව සිටියා. එහිදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වැඩිදුරටත් කියා සිටියේ ඉඩම් කොල්ලයන් සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ ඒකකයක්ද පිහිටුවා ඇති බවයි.
Share This Article