අක්කා එක්ක කඩේ ගිය පුංචි නංගී යතුරුපැදියට බිලි වෙයි
Thursday, 26 November 2020 - 7:15 | Views - 377

පදියතලාව, පළතුරුවැල්ල, නවහිරුගම ප්‍රදේශයේදී පෙරේදා (24) හවස 4.30ට පමණ සිය අක්කා සමග කඩයට ගොස් නිවසට එමින් සිටි අවුරුදු හතරහමාරක් වයසැති දැරියක් හදිසියේම පාර මාරු වීමට යෑමේදී මාළු වෙළෙන්දෙකුගේ යතුරුපැදියේ හැපී මිය ගොස් ඇතැයි පදියතලාව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ නවහිරුගම, පළතුරුවැල්ලේ පදිංචිව සිටි ජී. දෙව්නි රහුදරා දිසානායක නමැති අවුරුදු හතරහමාරක් වයසැති දැරියකි.
පදියතලාව පොලිසිය පවසන අන්දමට නිවසට පැමිණි අමුත්තන් පිරිසකට සංග්‍රහ කිරීම සඳහා බඩු ගෙන ඒමට තම වැඩිමහල් සහෝදරියත් සමග කඩයට ගොස් එමින් සිටියදී අක්කාගේ අතින් මිදී හදිසියේම පාර මාරු වීමට උත්සාහ කිරීමේදී ළදැරිය යතුරුපැදියේ ගැටී ඇත. බරපතළ තුවාල ලැබූ දැරිය කඩිනමින් මහඔය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
අනතුරට සම්බන්ධ මාළු ව්‍යාපාරිකයා මහඔය පොලිසියට භාර වී ඇත. ඉදිරි රාජකාරි සඳහා ඔහු පදියතලාව පොලිසියට භාර දී තිබේ. අනතුරට සම්බන්ධ රියැදුරු මඩකලපුව එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මාළු අලෙවි කර යළි ගමට යෑමේ දී අනතුරට මුහුණ පා ඇත.
පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් එස්. බන්දුසේන මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පදියතලාව විශේෂ - භාෂණ සත්‍යප්‍රිය
දිවයින
Share This Article