මහනුවර භූ චලනයේ වාර්තාව නිකුත් වෙයි
Wednesday, 25 November 2020 - 9:05 | Views - 426

මහනුවර ප්‍රදේශයේ කෙටි කාලයක් තුළ එකම කලාපයක භූ චලන සිදුවී ඇති බැවින් අඛණ්ඩව දිගුකාලීන අධීක්ෂණ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
පසුගිය 18 වන දා මහනුවර දිගන ප්‍රදේශයෙන් වාර්තා වූ භූ චලනය පිළිබද විද්වත් වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඊයේ භාර දුන්නා.
ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනවලට අදාළ කරුණු එහි ඇතුළත් බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. එම කරුණුවලට අනුව ප්‍රදේශයේ හුණුගල් බහුල වුවද හුණුගල් කැඩීම නිසා මෙම කම්පනය සිදුව ඇති බවට ප්‍රකාශ කළ නොහැකි බවටයි එම කමිටුව දැනුම් දී ඇත්තේ.
භූ කම්පනය පිළිබදව තවදුරටත් ගවේෂණය කළ යුතු බවත් ප්‍රදේශයේ ජලාශ හා ජනතාවගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ කිහිපයක් ද එම භූ විද්‍යාඥයින් සිය වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා. සවිස්තරාත්මක භූ විද්‍යාත්මක, ව්‍යුහාත්මක සිතියමක් සම්පාදනය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යෙදවීමටද මෙහිදී යෝජනා වී ඇතැයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉරි තැලීම් සමීක්ෂණයේදී කරන ලද නිරීක්ෂණ අවශ්‍ය භූ විද්‍යාත්මක යෙදවුම් සමඟ නැවත ඇගයුම් කටයුතු සිදුකිරීම සඳහා තවදුරටත් සමීක්ෂණ කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.
විශේෂයෙන් වික්ටෝරියා වේල්ලෙහි භූ කම්පන උපකරණයක් සවි කිරීමට පියවර ගත යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, වික්ටෝරියා ජලාශයට මෙන්ම සියළුම ජලාශවල ආරක්ෂාව උදෙසා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව එම වාර්තාව ලබාදුන් අවස්ථාවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
පසුගිය දා සිදුවූ මෙම භූ කම්පනය නිසා වික්ටෝරියා ජලාශයේ වේල්ලට කිසිදු හානියක් සිදුව නොමැති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
Share This Article