බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර, සෙසු පාසල් අද විවෘතවෙයි
Monday, 23 November 2020 - 8:03 | Views - 292

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද විවෘත වනවා.
ඒ අනුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ පූර්ණ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ සහය අවශ්‍ය බවයි.
එමෙන්ම, අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම් පිළිබදව ද කඩිනමින් අවදානය යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.
පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් අද දිනයේ විවෘත කිරීමට නියමිත අතර, සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අදාළ පාසල්වලට රුපියල් බිලියන 106කට ආසන්න මුදලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්වල ඉගැනීම් සහ අධ්‍යයනය කටයුතුවලට සහභාගි වන බස්නාහිර පළාතේ ජීවත් වන සිසුන් හෝ ගුරුවරුන්ට ඒ සඳහා සහභාගි විය නොහැකි බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්රාමනී ද සිල්වා සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ සිසු සැරියට අයත් බස් රථ 500ක් පමණ අද දිනයේ ධාවන කටයුතු සඳහා එක් කිරීමට කටයුතු කර ඇති බවයි.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් ප්‍රවාහනය කිරීමේදී සිසු සැරිය බස් රථ හිඟයක් මතුවුවහොත් අමතරව බස් රථ යෙදවීමට ද සියළු කටයුතු සූදානම් බවයි එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස කියා සිටියේ.
එමෙන්ම, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යටතේ අද සිට උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article