කොළඹ නගර සභා සීමාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන රජයේ වෛද්‍යවරුන්, පැහැදිලි කිරීමක් ඉල්ලයි
Tuesday, 17 November 2020 - 13:24 | Views - 513

කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියා.
මෙරටින් කොරෝනා ආසාදිතයින් තුන්සිය අසූ දෙදෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගත් අතර, ඒ අතරින් 08 දෙනෙකු විදේශ රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 374 දෙනෙකු වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන්.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 ක්.
එම පොකුරේ ආසාදිතයින්ගෙන් 8,381 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබෙනවා.
ඊයේ 231 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 134 ක්.
ඊයේ දිවයිනෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හතලිස් දෙදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන්ද ආසාදිතයින් හඳුනාගත්තා.
ඔක්තෝම්බර් 04 වැනිදායින් පසුව මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 5,899 ක්.
එම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,998 ක් වාර්තා වී තිබූ අතර, ආසාදිතයින් 618 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.
මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 17,674 දෙනෙකු වාර්තා වන අතර, මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,806 ක්. තවදුරටත් ආසාදිතයින් 5,807 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
Share This Article