ඇමරිකානු ජනපති ධුරයට පත්වූ ජෝ බයිඩ්න්ගෙන් අනතුරු ඇඟවීමක්
Tuesday, 17 November 2020 - 13:22 | Views - 2,058

ඉදිරි ජනාධිපති පරිපාලනය ජනපති ට්‍රම්ප්ගේ බලපෑමට තවදුරටත් ගොදුරු වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් 19 ජීවිත හානි තවදුරටත් ඉහළ යා හැකි බවට ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩ්න් අනතුරු අගවනවා.
ඩැල්වෙයාර් හිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතයට මුහුණදීම සඳහා වත්මන් පරිපාලනය, එළඹෙන පරිපාලනය හා සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ට ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය වන කොට්ඨාශ නියෝජිත ඡන්ද 270 ඉක්මවා 306 ක් හිමිව තිබෙනවා.
ජනපති ට්‍රම්ප්ට එහිදී හිමිව ඇත්තේ කොට්ඨාශ නියෝජිත ඡන්ද 232 ක් පමණයි.
එමෙන්ම, සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජෝ බයිඞ්න් ජනපති ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 5 කින් පමණ ඉදිරියෙන් සිටිනවා.
කෙසේ නමුත්, මැතිවරණය දූෂිත බව පවසමින් අධිකරණ ක්‍රියාමාර්ග වලට පිවිසී සිටින ජනපති ට්‍රම්ප් තවමත් පරාජය පිළිනොගන්නා අතර, තම ජයග්‍රාහකයා බවට නැවතත් ට්විටර් පණිවුඩ නිකුත් කළා.
කෙසේ නමුත්, මිනිස් ජීවිත රඳා පවතින මෙය ක්‍රීඩාවක් ලෙස නොසලකන ලෙස හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා සඳහන් කළා.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තහවුරු වූ පසු ඔහු වෙත ආරක්ෂාව පිළිබඳ රහස්‍ය තොරතුරු සහ රජයේ සැලසුම් ලබාදිය යුතුයි.
එහෙත්,එම ආරක්ෂක තොරතුරු පමණක් නොව කොරෝනා වෛරස් පාලන පියවර පිලිබඳ තොරතුරු පවා ට්‍රම්ප් පරිපාලනය විසින් ජෝ බයිඩ්න්ගේ කණ්ඩායමට මෙතෙක් ලබාදී නැහැ.
ජෝ බයිඩ්න් ඊයේ සඳහන් කළේ එය ඇමෙරිකානුවන්ගේ ජීවිත බිලි ගැනීමේ අවදානම තවදුරටත් ඉහළ නංවන බවයි.
පසුගිය සති දෙක පුරාම ඇමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන අතර, මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්කෝටි පහලොස් ලක්ෂයකට අධිකයි.
එමෙන්ම ඇමරිකාවෙන් කොරෝනා මරණ දෙලක්ෂ 52,000 කට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වනවා.
Share This Article