මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 12,000 ඉක්මවයි
Friday, 13 November 2020 - 8:00 | Views - 307

තවත් කොරෝනා ආසාදිතයන් 373 දෙනෙකු ඊයේ (12) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මරණ දෙකක් ද ඊයේ වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහල යන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 369 ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර ඉතිරි හතර දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි අය බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
මිනුවන්ගොඩ සහ පෑලිගොඩ කොවිඞ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 12,227ක් දක්වා ඉහල යන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5022ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 10,653ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
පසුගිය දින කිහිපය තුළ සිදුවූ කොරෝනා මරණ වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවනවා.
එලෙස මියගිය බහුතරයක් විවිධ නිධන්ගත රෝගවලින් ඇතිවූ සංකූලතා මත නිවෙස් තුළදීම මියගොස් තිබුණා.
මාසයකුත් දින 15 කට ආසන්න කාලයක් තුළදී කොරෝනා මරණ 37 ක් වාර්තා වී ඇති අතර, පසුගිය සිකුරාදා සිට මේ දක්වා දින හතක් තුළ මරණ 17 ක් වාර්තාවීමද විශේෂත්වයක්.
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වෛරසය ආසාදනය වූ 12 දෙනෙකු ඊයේ වාර්තාවී තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවය කර පැමිණීම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් 35 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි මොවුන් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇත්තේ.
එමෙන්ම කොළඹ මහල් නිවාස සංකීර්ණවල රැඳි සිටින පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් දැඩි අවදානමක් ඇතිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.
මෙවන් පසුබිමක මහල් නිවාස සංකීර්ණවල රැඳී සිටින ජනතාව නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රියාකළ යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු ඊයේ සහ අද දිවයිනට පැමිණියා.
Share This Article