කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සංවර්ධන නිලධාරිනියක් ඇතුලු පස්දෙනෙකුටත් කොරෝනා
Thursday, 12 November 2020 - 13:45 | Views - 543
විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි කොවිඩ් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කන්දීපන් බාලා සඳහන් කළේ ඉන් මරණ අසුවක්ම මැද පෙරදිග රටවලින් වාර්තා වන බවයි.

සෞදි අරාබියේ ලාංකිකයන් 34 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කුවේටයේ මිය ගොස් ඇති ලාංකිකයන් සංඛ්‍යාව 21ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දස දෙනෙකු, කටාර් රාජ්‍යයේ 6 දෙනෙකු, ඕමානයේ 4 දෙනෙකු, බහාරේනයේ සහ ජෝර්දානයේ දෙදෙනෙකු බැගින් මෙන්ම ඊශ්‍රාලයේදී එක් ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ මරණ 5ක්, ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් මරණ 4 බැගින් මෙන්ම ජර්මනියෙන් සහ ඉතාලියෙන් මරණ දෙක බැගින් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ. මීට අමතරව ඉරාකයෙන් ද එක් මරණයක් වාර්තා වනවා.

මේ අතර විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 40,000 ක් පමණ මේ වනවිට මෙරටට ගෙන්වාගෙන ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතින්ගේ සංක්‍රමණික ජාලය සමඟ ශ්‍රී ලංකාව එක්වීම නිමිත්තෙන් අන්තර්ජාලය ඔස්සේ පැවති රැස්වීමක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවෙමින්.

කොරෝනා වසංගතය ආරම්භවීමත් සමඟ මෙරට සංක්‍රමණික ජනගහණයේ සුබසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය කඩිනම් පියවර ගත් අතර, ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පිරිස අතර මැදපෙරදිග කලාපයේ ලාංකික කම්කරුවන් 17,861 දෙනෙකු ද සිටින බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම වැඩපිළිවෙල යටතේ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණියා.

එමෙන්ම පොලිස් නිලධාරීන් 600 කට අධික පිරිසකට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, තවත් තුන් දහසකට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

හංවැල්ල - පහත්ගම - ගල්මුල්ල ප්‍රදේශයේ තරුණයෙකුටද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉරණවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ ආශ්‍රිත පවුල් අටක පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුටද කොරෝනා ආසාදිත බවට තහවුරු වුණා.

හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

කරන්දෙණිය - ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් ද කොරෝනා ආසාදිතයන් හත්දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

ඉන් පස්දෙනෙකුම එකම පවුලේ සාමාජිකයන් වනවා.

මේ අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ඇතුලු පස්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍ෂේත්‍ර නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය දැඩි අවදානම් තත්ත්වයක පසුවන බවයි.

ඊයේ දිනයේත් පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයන් 625 දෙනෙකු වාර්තාවූ අතර, විදේශගතව සිට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි තවත් දස දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව ඊයේ ආසාදිතයන් 635 ක් මෙරටින් වාර්තාවී ඇති අතර, මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවට අදාළ කොරෝනා පොකුර 11,857 දක්වා ඉහළ ගිය බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ දිනයේත් කොරෝනා මරණ 5 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තාවූ ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 264 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලින් ආසාදිතයන් 74 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පිටකොටුව සහ කෙසෙල්වත්ත ප්‍රදේශවලින්ද ආසාදිතයන් 20 දෙනෙකු බැගින් වාර්තාවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මාළිගාවත්ත ප්‍රදේශයෙන් 15 දෙනෙකු, කොටහේන ප්‍රදේශයෙන් 14 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 12 දෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් දස දෙනෙකු හමුවී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 9 දෙනෙකුද ඊයේ වාර්තාවූ ආසාදිතයන් අතර වනවා.

පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 136 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 47 දෙනෙකුම වාර්තාවී ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්.

ගම්පහින් 22 , පෑලියගොඩින් 13 දෙනෙකු සහ කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු ද ඊයේ වාර්තාවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top