සංක්‍රාන්තික කාන්තාවකගෙන් සිය විකෘති ආශාවන් සපුරා ගත් නරුමයා, ඇගේ සිරුර ලුණු වතුර යෙදූ ටැංකියක ඔබා සිදුකළ අපරාධය
දිනය ඔක්තෝම්බර් 19 වැනිදා ය. එදිනද ලස්සනට හිරු පායා තිබුණා. වෙනදා මෙන් වෙනසක් දකින්නට ලැබුණේ නැහැ. උදෑසන නැගිට වැඩට යාම සඳහා "පපාති'ට කවදත් තිබුණේ මහත් උද්යෝගයක්. ඇය එතරම්ම තම රැකියාවට ඇළුම් කළා.
පපාති හඳුන්වන්නට ස්ත්‍රී ලිංගික පද යොදා ගැනීම වරදක් නෑ. මන්ද පිරිමියෙකු ලෙස උපන්නත් පපාති දැන් පූර්ණ වශයෙන්ම ස්ත්‍රීයක් ලෙසින් ජීවත් වන නිසායි.
නමුත් මේ කතාව ඈ ගැන නොවේ. එදා සඳුදාවක්. අලුත් සතියක ඇරඹුමත් සමඟ ඇය ඇගේ සේවය කළ හෝටලය වෙත ගියේ ප්‍රබෝධයෙන්.
කෝව් ට්‍රාන්ස් කීවන් ඒ හෝටලයේ නමයි. ඉන්දියාවේ කොයිම්බතූරු පිහිටි ඇය සේවය කළ හෝටලය විශේෂ එකක් වුණා.
ඒ එම හෝටලය ආරම්භ කර පවත්වාගෙන යන ලද්දේ සංක්‍රාන්තික ලිංගිකයින් කණ්ඩායමක් විසින් වීමයි.
"මම එදා හෝටලයට ගියා. ඒත් කවදාවත් නැතුව එදා ඒක වහලා තිබ්බා. පුදුමයි මං කතා කළා, කතා කළා, සද්දයක් තිබුණේ නැහැ. මම ආපහු ආවා. ඒත් මට මොකද්ද මන්දා අමුත්තක් දැණුනා ඒ වෙලාවේ දෙයියනේ..."
පපාති එදා දවස සිහි කරන්නේ ඉතා සංවේගයෙන්.
"ඊට දවස් දෙකකට පස්සේ දෙයියනේ මට දැනගන්න ලැබුණේ සංගීතා මැඩම්ව මරලා දාලා කියලා. මට දැණුනේ මගේ මුළු ලෝකෙම කඩන් වැටුණා වගේ" ඇය සංගීතාගේ මරණයෙන් අතිශය කම්පනයට පත්ව සිටියා.
සංගීතාව මරා දමා තිබුණේ ඔක්තෝම්බර් 18 වැනි දිනයි. ඒ කොයම්බතූර්හිම සායි බබා කොලනියේ පිහිටි ඇගේ නිවසේදී.
ඇයට කවුරුත් හෝ තියුණු ආයුධයකින් ඇන තිබුණා. ඒ බවට ඇගේ ගෙලෙහි පිහිටි තුවාල සාක්ෂි දැරුවා.
එහෙත් බරපතලම දේ වුයේ ඇගේ සිරුර සඟවා තිබූ ආකාරයයි. අපරාධකරු ඇගේ ගෙලට ආයුධයකින් පහර දී ඇය මරා, අනතුරුව ඇගේම නිවසේ පිටුපස වූ වතුර පුරවන ආකාරයේ විශාල බැරලයක ඇය බහා වතුර හා ලුණු දමා සිරුර සඟවා තිබුණා.
ඇගේ මරණයට සෘජුවම සැකය එල්ලවූයේ හෝටලයේ අත් උදව්වට පැමිණි විසිතුන් හැවිරිදි තරුණයා වෙතයි. ඔහු නමින් රාජේශ් වූ අතර ඔහු සංගීතලා සමඟ හෝටලයේ වැඩ කරන්නට විත් එතරම් කාලයක් වුනේ නැහැ.
ඒ ටික කාලයට ඔහුගෙන් සංගීතාට නොයෙකුත් කරදර සිද්ධ වුණා.
"ඔහුට ඇය සංක්‍රාන්තික කාන්තාවක් බව ගැනවත් තැකීමක් තිබිලා නැහැ. නිතර ඇයව එක එක දේවල් වලට පොළඹවාගන්න වැඩ කරලා තිබුණා.."
"පුදුමේ කියන්නේ අපි මේ මොනම දෙයක් වත් දැනගෙන හිටියේ නැහැ. මෙහෙම දෙයක් වුණාට පස්සේ සේරම දේවල් එළියට එනකොට තමයි දෙයියනේ දන්නේ.. සංගීතා ඒ දෙවලුත් ඉවසන් ඉඳලා.." පපාති පවසන්නේ හැඬූ කඳුළින්.
ඔවුන්ගේ හෝටලය පිහිටා ඇති කොයිම්බතූරු ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ යි. සංගීතා එහි ප්‍රසිද්ධ චරිතයක් වූ අතර සංක්‍රාන්ත අයවුන් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියක් ද වුණා.
"දන්නවනේ අපි වගේ අයට සමාජේ තියෙන පිළිගැනීම ගැන..? හැමෝම හැම වෙලේම අපිට සළකන්නේ ඉතාම නින්දා සහගත විදිහට. අපිව පහත් කරලා සළකන්නේ. ඒත් ඒක වෙනස් කරන්න සංගීතා අම්මා ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.."
"අපේ ප්‍රදේශයේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කියලා පිළිගැනීමත් අපිට ඇති කරලා දෙන්න ගොඩක් කැප වුනු කෙනෙක් සංගීතා අම්මා..." ඇය සිහි කරමින් බොහෝ පිරිස් පවසනවා.
"ගොඩක් අය අපිව නිකන්ම නිකන් ලිංගික ශ්‍රමිකයෝ විදිහට විතරමයි දකින්නේ. සංගීතාට උවමනා වුණා ඒක වෙනස් කරන්න. එයා අපේ සංවිධානේ හරහා අපිට එක එක දේවල් කරන්න අවස්ථාව හදලා දුන්නා.."
"එයාගේ හීනයක් තිබුණා කේටරින් එකක් පටන් ගන්න. ඒ නිසයි හෝටලේ දැම්මේ.."
"ඔය රාජේෂ් රස්සාවක් ඉල්ලගෙන ආවා අපේ හෝටලේට. යූ ටියුබ් එකේ දාලා තිබුණ වීඩියෝ එකකින් අපේ හෝටලේ දැකලා..එයාට අපි එක්ක වැඩ කරන එකේ ප්‍රශ්නයක් නෑ කියලා එයාම කිව්වා.."
"සංගීතා කවදාවත් කාගෙවත් හිතක් රිද්දන්නේ නැහැ. එයා ඒ තරම් කාරුණිකයි. ඒකම තමා ඔය රාජේශ්ව වැඩට ගත්තේ. එයාට එතකොටවත් අමුත්තක් දැණුනේ නැතිද දන්නේ නෑ, අහිංසක සංගීතා..."
ඉන්දියාවේ ඉතිහාසයේ පටන්ම සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන් ලෙස මෙන්ම ලිංගික සේවා ආශ්‍රිත රැකියාවල යොදවනු දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් සංගීතාගේ මාරයා ඇයව දැක්කේම ලිංගික ආශාවන් පූර්ණය කරගත හැකි මෙවලමක් හැටියටයි. නැතිනම් තරුණ ඔහුගේ කාමාශාවන් සන්තර්පණය කරගන්නට හැට හැවිරිදි සංක්‍රාන්තික ලිංගික පහස පතන්නේ නැත.
කෙසේ වෙතත්, මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
එරංගා මාපටුන විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

