අයියාට පිහියෙන් ඇන අධිවේගයේදී ලොරියකට පැන දිවි තොර කරගත්තූ මල්ලි ගැන වෙනස්ම කතාවක් එළියට - දරාගන්න බැරිම තැන අම්මා අවසන් ගමන් ගිහින්
Tuesday, 10 November 2020 - 15:10 | Views - 2,293

මතුගම අලුත්ගම්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පසුගිය 27 වැනිදා රාත්‍රී හතට පමණ වේගයෙන් දුවගෙන ගියේ අධීවේගී මාර්ගය වෙතටයි. ඔහු ආ වේගයෙන්ම මාර්ගයේ වැටට උඩින් පැන මාතර සිට කොළඹ බලා දිවෙන මාර්ගය හරහා පිම්මේ දුවගෙන ගියේ කොළඹ සිට මාතර දක්වා දිවෙන මාර්ගය දෙසටයි.
ඒ අවස්ථාවේ කඩවත සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක් එකවර තිරිංග තද කර නතර කිරීමට රියදුරු කටයුතු කළා. එහෙත් ඒ වන විටත් සියල්ල සිදුවී තිබුණා.
සිදුවූ අනතුර සැලවූ වහාම කුරුඳුගහහැතැක්ම අධිවේගී මාර්ග පොලිසිය කඩිනමින් එම ස්ථානයට පැමිණියා. ඔවුන් දුටුවේ උඩුකය නිරුවත්ව කොට කලිසමකින් සැරසුණු පුද්ගලයෙකු ලොරි රථයේ ගැටී මිය ගොස් සිටින අයුරුයි.
එම පුද්ගලයාට සිදුවූ අනතුර ගැන දැනුම් දීමට පොලිසිය රාත්‍රී නවයට පමණ අලුත්ගම්ගොඩ බලා පිටත් වූයේ එහි සඳහන් ලිපිනය ඔස්සේ යි.
"ගම්මන්පිල ඉම්ටියාගේ උපුල් කුමාරගේ ගෙවල් කොයි හරියේද?"
පොලිසිය අසල්වැසියන්ගෙන් විමසුවා.
"අනේ සර් ඌ උගේ අයියට පිහියෙන් ඇනලා කොහේ පැන්නද මන්දා. අන්න අර වළේ තමයි ගේ තියෙන්නේ නං.."
"තුවාලකාරයව නං නාගොඩට අරන් ගියා.."
"අම්මා ගෙදර ඇති.. ගිහින් බලන්න.."
ගම්වැසියෝ පොලිසියට පැවසුවේ එවැනි කතාවක්. නිවසට ගිය පොලිස් නිලධාරින් ලේ තැවරුණු පිහියක් හා යතුරක් දොර අසළම තිබෙන බව දුටුවේ නිවස ඇතුළේ භයානක දෙයක් සිදුවී ඇති බවට ගම්මුන් පැවසූ කතාවට සාක්ෂි සපයමින්.
උපුල්ගේ මවට කතා කළත් ගෙතුළින් "හ්ම්" හඬක් හෝ පිට නොවීම ගැන කාටත් ඇති වූයේ කුතුහලයක්. මේ නිසා සැම තැනම සොයා බැලීමට ඔවුන් යුහුසුලු වූයේ ඇයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි.
මේ අතර එක් නිලධාරියෙකු ඇඳේ මෙට්ටය තරමක් ඔසවා බැලීමේදී ඇස ගැටුණේ ඇඳ යට යමක් ඇති බවයි. මෙට්ටය ඉවත් කර සෝදිසි කර බැලීමේදී ඒ ඔහුගේ මවගේ බවත් ඇය මිය ගොස් ඇති බවත් අවබෝධ කරගැනීමට නිලධාරින්ට අසීරු වූයේ නැහැ.
මතුගම පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ අධිවේගී පොලිසිය මෙම තොරතුරු ලබාදීමෙන් අනතුරුවයි. අනතුර සිදු කළ ලොරි රථය හා එහි රියදුරු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් පිරිස අදාළ නිවසට අනතුරුව පිටත් වන්නේ මෙය කුමන ආකාරයේ මරණයක් දැයි සිතමිනුයි.
ඇගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දැක ගැනීමට නොහැකි වුනු අතර මුහුණේ සීරිම් වැනි තුවාල කිහිපයක් පමණක් තිබුණා.
මෙම සිද්ධිය ගැන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් කැඳවීමට හා අධිකරණයට දැනුම් දීමටද පොලිසිය කටයුතු කළා.
මිය ගොස් සිටියේ යටෝවිට විතානගේ ගුණවතී නැමති 58 හැවිරිදි තිදරු මවක්. ඇයට කවුරුත් ඇමතුවේ රමණි නමිනුයි. ඇගේ සැමියා මීට වසර තිහකට පෙර ඇගෙන් සමුගෙන ගියේ අවුරුදු 8 හා අවුරුදු 5ක පිරිමි දරුවන් දෙදෙනකුගේ බර ඇය මත පටවමිනුයි. ඉන්පසුව දුක් මහන්සියෙන් ජීවිතය ඇදගෙන ගිය මේ මවට හව්හරණයට තවත් පුද්ගලයෙකු ඉදිරිපත් වුණා.
ඔහුගෙන්ද ඇයට ලැබුණේ පිරිමි දරුවෙක්. මේ පවුල නොයෙකුත් හැලහැප්පීම් මත කාලය ගත කරන විට බාල දරුවා ඔහුගේ පියා සමඟ එම නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඇති පියාගේ නිවසේ පදිංචියිට ගියේ මවගේ පළමු විවාහයේ දරුවන් උස්මහත් වීමෙන් පසුවයි.
තිස් අටවන වියේ පසුවන වැඩිමල් පුතු විවාහ වුවත් එම විවාහය දෙදරා යාමට වැඩි කලක් ගත වූයේ නැහැ. දරුවෙකු පවා නොමැති ව ඔහු බිරිඳගෙන් වෙන්ව නැවතත් නිවසට පැමිණ ගත වී තිබුණේ වසරක පමණ කාලයක්. අවිවාහක තිස් පස් හැවිරිදි දෙවැනියා තරමක් මුරණ්ඩු ගති තිබූ අයෙක් වුණා. දෙදෙනාම රැකියාව කළේ පානදුර ප්‍රදේශයේ වෙන වෙනම ස්ථාන දෙකකයි.
මල්ලි හෝටලයක වේටර්වරයෙකු ලෙසට රැකියාව කළේ එහිම නවාතැන් ගෙන වුවත් අයියා තමන්ගේ යතුරු පැදියෙන් උදේ හවස තම සේවා ස්ථානයට යාම් ඒම් කළේ අම්මා නිවසේ තනි නොකළ යුතු නිසයි. මේ නිසා ඔහු මවට වඩාත් සමීපව කටයුතු කළා.
ඉදහිට නිවසට එන බාලයා මත්වතුර පානය කර නිතරම මව සමඟ දබර කර ගැනීම සිරිතක් කරගත්තේ එම කතාබහට හේතුවක් නැතිවයි. එහෙත් කිසිවෙකුත් එය එතරම් ගණනකට නොගත්තේ සාමාන්‍ය දෙයක් ලෙසට සලකාගෙනයි.
මෙම නිවස පිහිටා තිබුණේ පස් කණ්ඩියකින් වටවූ පස් කපා ඉවත් කළ බෑවුම් සහිත වළක නිසාත් මීටර් සීයක් පමණ දුරින් මිස කිට්ටුව නිවසක් දැකීමට නොහැකි නිසාත් කිසිවෙකුත් මේ නිවසේ සිදුව දේ ගැන වැඩිපුර තැකීමක් කළේ නැහැ.
සති ගණනක් එක දිගට රැකියාව කිරීමෙන් පසුව නිවාඩු ලබා බාලයා නිවසට ආවේ මේ සිද්ධිය වූ දිනට පෙර දිනයි. පසුදින හවස ඔහු බියර් පානය කර තිබුණේ නිවස පිටුපස වැසිකිළිය අසළදීයි.
වසර විස්සක පමණ කාලයක් සිට හෘදයාබාධ රෝගී කාන්තාවක් වූ රමණී, ඒ සඳහා ප්‍රතිකාර ගන්නා බව අමතක කර පදමට වෙරි වූ මේ පුතා ඇය සමඟ සුපුරුදු දබරය ආරම්භ කර ඇති බවත් එහි දී ඇඳ යටට රිංගන්නට ඇති බවත් පොලිසියේ සැකය වී තිබෙනවා.
කෙසේ වුවත් ඔහුගේ පාවහන් යුගලද ඇඳ අසළම තිබුණේ ඔහු මව සොයා එතැනට ගොස් ඇති බව සනාථ කරමිනුයි. ඔහු විසින් ඇයට එළියට ඇදීමට උත්සහා කිරීමේදී ඇගේ මුහුණු සීරෙන්නට ඇති බව පොලිසියේ නිගමනයයි.
රැකියාවට ගිය වැඩිමලා කුකුළු මස් මිලට ගෙන රාත්‍රී හතට පමණ නිවසට ආවේ මේ අතරයි. ඔහු යතුරුපැදිය මිදුලේ නවතා යතුරද අතින් ගෙන ගෙට ගොඩ වූයේ බෑගය උළුවස්සේ එල්ලමිනුයි. එහෙත් ඔහුට සාලය පසුකර යන්නට ලැබුණේ නැහැ.
ඒ වන විටත් වියරු වැටි සිටි මල්ලිගේ අත රැඳි උල් පිහිය වේගයෙන් එසවී යළි පහත වැටුණේ අයියාට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමින්.
පිටේ එල්ලාගත් ගමන් මල්ල ද සමඟ අසල්වැසි නිවස වෙතට දුව ගිය අයියා එම නිවසේ වැට ඉදිරියේ පාරේ බිම වැටුණේ කපා හෙළු ගසක් පරිද්දෙන්. නිවැසියන් ඔහු අසළට දුව ආවා.
"මොකද්ද ගයාන් වුණේ.."
"අරූ බීලා ඉන්නේ. මට පිහියෙන් ඇන්නා. අම්මත් ගෙදර නෑ. ආවොත් අම්මට ගෙදර යන්න දෙන්න එපා. අම්මටත් අනියි ඌ.."
ඔහු අසල්වැසියෙකුගෙන් ඉල්ලා සිටියේ මල්ලිගෙන් තම මව ආරක්ෂා කර දෙන ලෙසයි. එයින් පැහැදිලි වන්නේ මවට වූ විනාශය අයියාට දැන ගැනීමට ඉඩක් නොතබාම ඔහු විනාශ කිරීම මල්ලිගේ අරමුණු වූ බවයි.
තුවාල ලැබූ සහෝදරයා නාගොඩ රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන්නේ කිසිදු ප්‍රකාශයක් ගත නොහැකි තත්ත්වයෙනුයි.
"ඔය තුවාල වෙලා ඉන්නේ ගයාන්. අම්මාට හරි ආදරෙයි සර්.."
"උපුල්ගේ ඔලුවේ පොඩි අප්සට් එකක් තියනවා. නිතරම බීලා ඌ රමණිත් එක්ක රංඩු වෙනවා. මල්ලි, අම්මත් එක්ක පැටලෙනකොට අයියා තමා බේරගන්නේ.. ඌ රණ්ඩු වෙන්නේ මොකටද කියලා නම් අපි දන්නේ නෑ."
අසල්වැසියන් මේ ගැන නොයෙකුත් අදහස් පවසන්නට වුණා. දෙවන සැමියාගේ 27 හැවිරිදි පුතාද මවගේ වියෝව සැලවී පැමිණ සිටියා. මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.
දිවි නසාගත් රමණිගේ දෙවැනි පුත්‍රයාගේ සිරුරත් එදිනම අවසන් කටයුතු සඳහා බාර දී තිබුණා.
වසර තිස් පහක් තිස්සේ නොයෙක් තාඩන පීඩන මැද හැදූ දරුවාගේ නොහික්මුණු හැසිරීමෙන් බියට පත්ව තව වසර කීපයක් ජීවත් වීමට වරම් ලැබූ හෘද රෝගී මවකට ආකාලයේ අවසන් ගමන් යාමට සිදුවූයේ මෙම මරණයට වග කිව යුත්තා සමඟින් වීම විශේෂත්වයක්.
විනීතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article