දුරකථනයෙන් කතා කර කර පෙම්වතිය බලන්න වෙල මැද්දෙන් ගිය සිසුවා විදුලිසැර වැදී මරුට
Wednesday, 04 November 2020 - 7:38 | Views - 930

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි හතරලියද්ද පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි සිසුවකු 02 වැනිදා රාත‍්‍රී 11.00ට පමණ පෙම්වතිය හමුවීමට කුඹුරක් මැදින් යමින් සිටියදී ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක ගැටී විදුලි සර වැදීමෙන් මරණයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 19 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා 02 වැනිදා රාත‍්‍රියේ පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ නිවසේ සිට මීටර 500ක පමණ දුරින් පිහිටි තරුණියගේ නිවසට ගොස් ඇත. පෙම්වතිය සමග දුරකථනයෙන් කතා කරමින් යන අතර විදුලි සර වැදුණු තරුණයා වෙල්යායේ ඇද වැටී තිබේ.
එක් වරම කෙඳිරිලි හඬක් සමග පෙම්වතා නිහඬ වීම නිසා ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි සිතූ පෙම්වතිය නිවසින් පිටතට පැමිණ වෙල්යායට පැමිණ තිබේ. එම අවස්ථාවේ ඇය පෙම්වතාගේ දුරකථනයට යළි ඇමැතුමක් ගනිත්දී ඔහුගේ දුරකථනයෙන් නික්මුණු විදුලි ආලෝකය මගින් ඔහු වෙල්යායේ වැටී සිටිනු දැක ඇත.
එම ස්ථානයට ගිය පෙම්වතියට ද විදුලි සර වැදී ඇති නමුත් ඇයට කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.
මෙම කුඹුරුයාය පුද්ගලයින් සිව්දෙනකුට අයත් බවත් ඔවුන් සියලූ දෙනාගේ එකඟතාව මත ප‍්‍රදේශයේ පුද්ගලයකු සතුන් දඩයම් කිරීම සඳහා වෙල්යායට විදුලි රැහැනක් ඇද තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
කුඹුරු කොටස්වල හිමිකරුවන් සිව්දෙනා සහ විදුලි රැහැන් අදින ලද පුද්ගලයා හතරලියද්ද පොලිසියට රැගෙන විත් ප‍්‍රකාශ සටහන් කරගත් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීවේය.
හතරලියද්ද පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිනේෂ්, පොලිස් කොස්තාපල් (73419) ගයාන් යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
Share This Article