බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් 7857 දක්වා ඉහළට-රාජගිරිය STF කඳවුරේ 23කටත් කොරෝනා
Tuesday, 03 November 2020 - 13:05 | Views - 517

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර නිර්මාණය වී අදට මසක් සපිරෙන අතර, එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7,800 කට අධිකයි.
කොරෝනා ආසාදිතයින් 275 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර, ඉන් දෙසිය තිස් දෙදෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින්.
අනෙක් ආසාදිතයින් 43 දෙනා වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,857 ක්.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එම සංඛ්‍යාව 90 ක්.
ඉන් වැඩිම ආසාදිතයින් වන 34 ක් මහර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊට අමතරව බියගමෙන් 18 ක් සහ කැලණියෙන් ආසාදිතයින් 16 ක් වාර්තා වුණා.
බේරුවල මූලික රෝහලේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව කොරෝනා ආසාදිත දන්ත වෛද්‍යවරයෙකු සහ රසායනාගාර සහයකයෙකු හඳුනාගත් අතර, ඔවුන් ඊයේ අයි.ඩී.එච්. රෝහලට සහ ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කලාපයන්ගෙන්ද ඊයේ ආසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වූ අතර, තවත් පොලිස් නිලධාරීන් 39 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එම නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයින් බවයි.
හුදෙකලා කර ඇති රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23 ක්.
බොරැල්ල පොලිසියෙන් ආසාදිතයින් 08 ක්, ප්‍රභූ ආරක්ෂක අංශයෙන් දෙකක්, කෙසෙල්වත්ත පොලිසියෙන් දෙකක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය, කොටුව පොලිසිය සහ මීගමුව පොලිසියෙන් ආසාදිතයෙකු බැගින් වාර්තා වී තිබෙනවා.
මේ අතර, කොළඹ - ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව නාවික හමුදා භට ඛණ්ඩයේ නිලධාරියෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ වනවිට දිවයිනෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,335 ක්.
සුවය ලැබූ සංඛ්‍යාව 5,249 ක් වන අතර, 6,665 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, මේ වනවිට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
කොරෝනා වැළඳී ඇති බවට සැක සහිත රෝගීන් හැර සෙසු රෝගවලින් පෙලෙන තැනැත්තන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණීමට අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article