කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුට කොරෝනා
Tuesday, 03 November 2020 - 8:07 | Views - 261

බලපිටිය - බ්‍රාහ්මණවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.
43 හැවිරිදි මෙම වැඩ පරීක්ෂකවරයා පසුගිය 22 වනදා නිවසට පැමිණ යළිත් 25 වන දින නගර සභාවේ රැකියාවට ගොස් ඇති අතර, 31 වනදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව ඔහුගේ බිරිඳ සහ දරුවන්ද නිවසේ නිරෝධායනයට යොමුකර තිබෙනවා.
එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයන් 275 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,355 දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේදී වාර්තාවූ ආසාදිතයන්ගෙන් දෙසිය තිස් දෙදෙනෙකුම ආශ්‍රිතයින් වන අතර සෙසු පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, සියදිවි හානිකරගැනීමෙන් මියගිය පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයාගේ මරණය, කොරෝනා ආසාදිත මරණයක් ලෙස නොසැලකීමට තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර උපුටා දක්වමිනුයි එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ.
මෙම මරණය 22 වන කොරෝනා මරණය ලෙස ඊයේ පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා.
මේ අතර කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙරට පෞද්ගලික සමාගමක් විසින් රුපියල් මිලියනයක් වටිනා මුව ආවරණ 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
Share This Article