ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි සීමා
Monday, 02 November 2020 - 13:42 | Views - 1,896

හදිසි අවශ්‍යතාවක් හැර පෞද්ගලික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
පෞද්ගලික ඇඳිරි නීති බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් නිශ්චිතවම අවශ්‍යතාව සනාථ කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 179 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, මුව ආවරණ සහ මීටරයේ දුර පවත්වා නොගත් පුද්ගලයින් 70 දෙනෙකුද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයන් හි කිසිදු වෙළඳසැලක් හෝ ඖෂධ අලෙවිසැලක් අද දිනයේ විවෘත කර තිබුණේ නැහැ.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැවතියද අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලයින් අද දිනයේ බස්නාහිර පළාතට පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා.
ඔවුන් නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සහ ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට බොහෝ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.
බස්නාහිර පළාතටම සහ කුලියාපිටිය පොලිස් වසමට මෙන්ම ඇහැලියගොඩ පොලිස් වසමට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති.
Share This Article