බොරැල්ල පොලිසියේ තවත් 08කට කොරෝනා
Monday, 02 November 2020 - 13:18 | Views - 551

හෙද නිලධාරීන් විසි දෙනෙකු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
මෙම තත්වයත් සමඟ තවත් 300 ක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, රාගම, මිනුවන්ගොඩ, දිවුලපිටිය, ලග්ගල - පල්ලේගම, මාතලේ, නාලන්ද සහ හොරණ යන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති අය අතර වනවා.
ත්‍රිකුණාමලය මහරෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු වී ඇති බවයි රෝහල් අධ්යක්ෂ ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.
සුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇතිවීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
ඒ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් 3 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්යක්ෂවරයා කියා සිටියේ.
එමෙන්ම ජාතික රෝහලෙන් ද මේ වනවිට ආසාදිතයන් හයදෙනෙකු හඳුනාගෙන ඇති අතර, හෙද නිලධාරිනියන් තුන්දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තුන්දෙනෙකු ඒ අතර වනවා.
ජාතික රෝහලෙන් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් අතර මාස අටක ගර්භනී හෙදියක්ද වනවා.
කළුබෝවිල ශික්ෂණ රෝහලේද වෛද්‍යවරියක් හා වෛද්‍යවරයෙකු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුද මේ වනවිට වෛරසයට ගොදුරු වී තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක නොවන බවට සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත චෝදනා කළා.
ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයට ගොදුරු වුවහොත් අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවන බවයි.
මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 135 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
බොරැල්ල පොලීසියෙන්ද නව ආසාදිතයන් අටදෙනෙකු වාර්තාවීමත් සමඟ එම පොලිස් ස්ථානයෙන් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 14 ක්.
කොරෝනා ආසාදිත තවත් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ඊයේ කරදියනාරු රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පයාගල, කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔහු ඉරණවිල රෝහලට ඇතුළත් කළා.
ඊයේ දිනය තුළ පී සී ආර් පරීක්ෂණ 11,087 ක් සිදුකර ඇති අතර මේ දක්වා මෙරට තුළ සිදුකර ඇති මුළු පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව පන්ලක්ෂ 23,822 ක්.
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනාගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
එම සංඛ්‍යාව 179ක් වන අතර, කොළඹින් 93ක්, කළුතරින් 33ක්, කෑගල්ලෙන් 19ක්, කුරුණෑගලින් 11ක්, මහනුවරින් සහ මඩකලපුවෙන් ආසාදිතයින් 5 දෙනෙකු බැගින් සොයා ගැනුණා.
පුත්තලමෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් සොයාගෙන ඇති අතර, හම්බන්තොටින්, ත්‍රිකුණාමලයෙන්, මාතරින්, රත්නපුරෙන්, පොළොන්නරුවෙන්, මන්නාරමෙන් සහ අනුරාධපුරයෙන් ඊයේ ආසාදිතයෙකු බැගින් හමුවූ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
අඛණ්ඩව 3 වන දිනටත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් සොයාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 51ක්.
කොළඹ කොටුවෙන්, 31ක්, වත්තල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයෙන් 39ක්, මහරින් 34ක්, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් 33ක් සහ කැළණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් රෝගීන් 26ක් ඊයේ අලුතෙන් සොයාගෙන තිබෙනවා.
මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,060ක් ලෙස දැක්වෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6134ක්. එමෙන්ම සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 4905ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Share This Article