මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දස දහසට ආසන්න වෙයි
Friday, 30 October 2020 - 8:35 | Views - 830

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දස දහසට ආසන්න වී තිබෙනවා.
ඒ ඊයේ දිනයේ කොරෝනා 586 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9,791 ක් දක්වා ඉහළ යාමත් සමගයි.
මෙම 586 දෙනාගෙන් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් වන අතර, තවත් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 6,313 ක් දක්වා ඉහළ ගියා.
මෙම පොකුරු දෙක දිස්ත්‍රික්ක 23 ක් පුරා ව්‍යාප්තව පවතින බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික නැවියෙකු සහ ඉන්දුනීසියානු ජාතික නැවියන් තුන්දෙනෙකුද ආසාදිතයන් බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව 5,630 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 4,142 ක්.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
ඒ අනුව මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මීට අමතරව තවත් නිලධාරීන් හතරදෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම රත්ගම ප්‍රදේශයේ පදිංචි තරුණියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන බවටයි වාර්තාවන්නේ.
එමෙන්ම යම් හදිසි අවස්ථාවක් මතුවුවහොත් ඇඳන් 180 ක ධාරිතාවකින් යුත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමටත්, අගුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහල සහ දුම්බර බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීමත් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ලබාගැනීමටත් අවධානය යොමුකර ඇති බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මීට අමතරව කඨින පූජෝත්සව සඳහා සහභාගි කරගන්නා ගිහි පිරිස 30 කට සීමා කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
එමෙන්ම කඨින චීවරය තැන්පත් කර ඇති ස්ථානයේ සිට කෙටි දුරකින් විහාරස්ථානයට එම චීවරය වැඩම කරවන ලෙසයි එම නිවේදනය මගින් දැනුම් දෙන්නේ.
කඨින චීවරය සඟ සතු කොට පූජා කිරීමේදී භික්ෂූන් වහන්සේලා පස් නමක් පමණක් සහභාගි කරවාගන්නා ලෙසත් එමඟින් දැනුම්දී තිබෙනවා.
Share This Article