ඊයේ ආසාදිතයන් 457ක් - මුළු ආසාදිතයන් 8,870 දක්වා ඉහළට
Wednesday, 28 October 2020 - 8:31 | Views - 432

ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 457 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඔවුන්ගෙන් දස දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගැනුණු අතර, 447 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් වනවා.
ඒ අනුව එම පොකුරුවලින් පමණක් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 5,396 දෙනෙකු වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූවන් 290 ක් වාර්තා වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා සඳහන් කළේ බියගම සහ කටුනායක නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව වෛරසය ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගත් බවයි.
එමෙන්ම, ජා-ඇල ප්‍රදේශයෙන් ආසාදිතයින් 72 ක්, කැළණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 83 ක්, මහර ප්‍රදේශයෙන් ආසාදිතයින් 77 ක් මෙලෙස වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 8,870 ක් ලෙසයි.
ඉන් 4,808 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර, මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 19 ක් වනවා.
ඊයේ දිනයේ රෝගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 19 ක පිරිමි පුද්ගලයෙකු සහ 87 හැවිරිදි කාන්තාවක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඒ අතරින් 19 හැවිරිදි තරුණයා උපතින්ම රෝගාබාධ වලින් පෙලුණු පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article