මූල්‍ය ආයතනයකදී ,විවාහක කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කරලා
Tuesday, 27 October 2020 - 12:08 | Views - 2,164
හොරොව්පොතානේ නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකදී ඊයේ (26) දහවල් 12.37ට පමණ 33 හැවිරිදි විවාහක කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කළ බව කියන පුද්ගලයකු පළා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය සඳහන් කළා.
පිහි ඇනුම් කෑ කාන්තාව මූල්‍ය ආයතනය තුළ ඇද වැටුණු පසු සැකකරු එම ස්ථානයෙන් පළාගොස් තිබූ බව පවසන පොලිසිය, බරපතළ තුවාල ලබා සිටි කාන්තාව හොරොව්පතාන රෝහලට රැගෙන යන අතරතුරදී මරණයට පත්ව ඇති බව පැවසුවා.
පළාගිය සැකකරු හොරොව්පොතාන නගරයේ කඩවීදිය පසුපසින් දිව යන අතුරතුර හැඳ සිටි කමිසය ගලවා විසිකර ඔහු ළඟ තිබූ වෙනත් කමිසයක් හැඳගෙන පළා යද්දි සිද්ධිය ආරංචි වී ඔහු පසුපස ලුහුබැඳ ගිය හොරොව්පොතාන පොලිසියේ රථවාහන අංශයේ සැරයන් කරුණාතිලක, කොස්තාපල් බණ්ඩාර යන මහත්වරුන් ඔහු අල්ලාගෙන තිබුණා.
මෙසේ ඝාතනය කළ බව කියන කාන්තාව ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති තිදරු මවක් බව පවසන පොලිසිය ඇය හොරොව්පොතානේ ලේවාසපිරිවැව පදිංචිකාරියක් බව සඳහන් කළා.
මෙම කාන්තාව සිය සැමියා සමඟ ත්‍රීරෝද රථයකින් මූල්‍ය ආයතනයකට පැමිණ සැමියා ත්‍රීරෝද රථයේ සිටියදී අවුරුදු දෙකහමාරක් වයසැති බාල දියණියද කැටුව මූල්‍ය ආයතනය තුළට ගොස් තිබෙන බවත්, එහිදී මේ සිද්ධියට මුහුණපා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
සීසීටීවී කැමරාවලද මෙය රූගත වී ඇති බව පොලිසිය පවසනවා. 22 හැවිරිදි සැකකරු වෘත්තියෙන් පෙදරේරුවෙක් බවයි සඳහන් වන්නේ. සැකකරු හා මියගිය කාන්තාව අතර කලකට පෙර තිබූ බව කියන සබඳතාවයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මේ ඝාතනයට හේතු වී ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අතුල බණ්ඩාර හා පැතුම් දර්ශන
(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්.)
Share This Article