ඇමරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට - චීනයෙන් නිවේදනයක්
Tuesday, 27 October 2020 - 8:22 | Views - 1,649

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද(27) දිවයිනට පැමිණිමට නියමිතයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඇරයුමකට අනුව දිවයිනට පැමිණෙන ඔහු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දකුණු සහ අග්නි දිග කලාපීය සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියා.
මෙරටදී ඔහු පවත්වන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී විවිධ අංශ ඔස්සේ දෙරටේ සබඳතා පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළම මට්ටමේ අමෙරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේද මයික් පොම්පියෝයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරය නිමා කරමින් හෙට මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සිදුකරන සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සිදුකරන සංචාරය, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට බලපෑම් ඇති කිරීමේ අරමුණින් සිදුකරන්නක් බවයි.
වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන මිත්‍රයෙකු ලෙස චීනය සිය ප්‍රසාදය පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්.
මෙම සංචාරය මගින් ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිමතාර්ථයන්ට සුදුසු නොවන ආකාරයෙන් බලපෑම් නොකරන ලෙසටද චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම, චීන නියෝජිත කණ්ඩායමක් සහන ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී එම කණ්ඩායම අවම පිරිසක් ලෙස පැමිණි අතර, එය ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවූ ආකාරයෙන් සිදුවූ බවත්, එරට නිරෝධායන නීතිරීති වලට අනුගත වෙමින් එම පිරිස ශ්‍රි ලංකාවට පැමිණි බවත් එම නිවේදනයේ සඳහන්.
එලෙස කුඩා රටවල් සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට තමන් සූදානම් බවද චීනය ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇමරිකාව ශ්‍රී ලංකාව තුල සංචාරයක් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ දැඩි බලපෑමක් පවතින අවස්ථාවක බව ද එම නිවේදනයේ සඳහන්.
එවැනි අවස්ථාවක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව තුළ කරන සංචාරය වෙනුවෙන් මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කරන ලෙසට ඉල්ලීමක් සිදුකර ඇති බව ද සඳහන් කරන චීන තානාපති කාර්යාලය, ආගන්තුකයෙකු ලෙස රටකට පැමිණීමේදී එලෙස කටයුතු කිරීම මගින් ගෞරවයක් හිමිවේදැයි සඳහන් කර තිබෙනවා.
එසේම මේ වනවිට ඇමරිකාව තුළ කොරෝනා ආසාදිතයන් මිලියන 8 ක් පමණ වාර්තා වන අතර, මරණ දෙලක්ෂ 30,000 ක පමණ සිදුව තිබෙනවා.
වසංගතයට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළට රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙර වෙනත් කණ්ඩායමක් පැමිණීම සෞඛ්‍ය නීතිරීති වලට ද, ගැටලුවක් බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article