ගාල්ල ධීවර වරායේ 7කට කොරෝනා ආසාදනය වෙයි
Friday, 23 October 2020 - 13:05 | Views - 1,113
බේරුවල වරායේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධවූ පිරිස් හඳුනාගනිමින් සිදුකළ පී සී ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් සොයාගත් බවයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කළුබෝවිල සඳහන් කළේ.

මෙම ආසාදිතයන් ද ඇතුලුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 100 කට වැඩි පිරිසක් වාර්තාවන බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය ප්‍රකාශ කළා.

ඉන් 78 දෙනෙකුම වාර්තාවන්නේ බේරුවල සහ කළුතර සෞඛ්‍ය බල ප්‍රදේශ හැර කළුතර දිස්ත්‍රික්කයේ සෙසු  ප්‍රදේශවලින් බව සඳහන්.

ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනෙකු ආසාදිත බව අද තහවුරු වී ඇතැයි ගාල්ල නාගාරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ඊයේ දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාකාංගන සේවකයාගේ බලපිටිය - කටුවිල ප්‍රදේශයේ පැවති ඥාතියෙකුගේ අවමංගල උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසානය වී ඇති බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්ච් සඳහන් කළා.

මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තාවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ මතුගම - කොළඹ සුඛෝපභෝගී බස් රථයට සම්බන්ධ කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු මේ වනවිට මතුගම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩි පිරිසක් දැනට හුදකලා කර ඇති ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදයේ පදිංචිකරුවන් බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

වෙළදසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.  

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා හැටන් නගරයේ පිහිටි සියලුම මත්ස්‍ය වෙළඳසැල් අද දින වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරීන් කටයුතු කළා.

එමෙන්ම තලවකැලේ නගරයේ වෙළඳසැල් කිහිපයක් ද අද දින වසා දමා එහි සේවකයින් ද පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගත් බවයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල කියා සිටියේ.

වැලිගම නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ මාළු ව්‍යාපාරිකයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

රත්නපුර - මුවගම ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් 35 දෙනෙකු මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙන විත් අලෙවි කරන පුද්ගලයෙකුටයි මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ.

එමෙන්ම අදාළ පුද්ගලයා රත්නපුර මහ නගර සභාවේ පසුගිය දිනක පැවති වෙළඳසැල් ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාවකටද සහභාගි වී ඇති බවට අනාවරණ වී  තිබෙනවා.  

ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ පිරිසකගේද පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර මාතර - කොටුවේ පිහිටි වෘත්තිය පුහුණු අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරීවරයෙකුටද කොරෝනා ආසාදිත බව අද තහවුරු වුණා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පොදු ප්‍රවාහන සේවාවලින් දෛනිකව රාජකාරි සඳහා පැමිණ ඇති බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා.  

මේ අතර ඊයේ දිනයේ මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වුණා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්වූ කුලියාපිටිය - ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ ඇයගේ ඥාතියෙකු පැමිණීමෙන් පසු නිරෝධායන නීතිවලට අනුකූලවයි.

අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය 4 වන දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, අද උදෑසන හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ අද දිනයේ ලැබෙන පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අනුව තවත් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නේ ද නැද්ද යන්න තීරණය කරන බවයි.

එමෙන්ම කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය මේ වනවිට පැවැත්වෙනවා.

මේ අතර කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ කොරෝනා ආසාදිත තරුණයෙකු අද උදෑසන එම රෝහලෙන් පලාගොස් තිබෙනවා.

26 හැවිරිදි අදාළ තරුණයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ අද අලුයම 1.30 ට පමණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම තරුණයාගේ පවුලේ සාමාජිකයන් ද කොරෝනා ආසාදනය වී එම රෝහලේ ප්‍රතිකාර ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පළාගිය කොරෝනා ආසාදිත තරුණයා සොයා පොලීසිය, බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top