කොළඹ නැව් තටාකාංගණයේ, කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළට
Tuesday, 20 October 2020 - 13:40 | Views - 511

කොළඹ නැව් තටාකාංගණයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහි ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆනෑන්ඩු සඳහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සහ පවුල්වල පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ කොළඹ - මතුගම සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම බස් රථයෙන් වන්දනා ගමනක ගිය 25 දෙනෙකු මේ වන විට වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකු වන කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන පුද්ගලයෙකුට වෛරසය වැළදී ඇති බව පසුගිය දා තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.
ඒ අනුවයි මේ වන විට කොළඹ නැව් තටාකාංගණයෙන් ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන රෝහල් ගත කර ඇත්තේ.
කොළඹ නැව් තටාකාංගණයේ ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆනෑන්ඩු කියා සිටියේ අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට එම ආයතනයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි.
මේ අතර, කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කැදවා මේ වන විට ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.
පිටකොටුව 4 වන හරස් වීදියේ සේවකයන් 19 දෙනෙකු සේවය කළ වියළි ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක හිමිකරු සහ එහි සේවකයන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වුණා.
එමෙන්ම, කොළඹ මැනිං පොදු වෙළදපොළේ ආපන ශාලාවක හිමිකරුවෙකුට ද කොරෝනා ආසාදිත බව හඳුනා ගත්තේ ඊයේ දිනයේයි.
ඒ අනුව මැනිං පොදු වෙළදපොළින් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන්ට අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරෙන් ඊයේ දිනයේදීත් තවත් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 2162 දක්වා ඉහළ ගියා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5625 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2172 ක්.
මිනුවන්ගොඩින් වාර්තා වූ මෙම නව කොරෝනා පොකුරේ ආරම්භයත් සමඟ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.
මේ අතර, කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප අද ප්‍රකාශ කළා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය සහ මතුගම ගම්මාන 3කට හා කුලියාපිටියේ ගම්මාන දෙකකට පසුගිය දා පැනවූ සංචරණ සීමාවන් ද තවදුරටත් ක්‍රියාත්මකයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.
මේ අතර, කොරෝනා පැතිර යාම ඉහළ යාම හේතුවෙන් පාර්ලිමේන්තු සභා වාරය කල් දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී කළා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ නිරෝධායන නීති ඇතුළත් කර රජය පසුගිය දා ගැසට් මගින් ප්‍රකාශටයට පත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට අදාළ නොවන බවයි.
Share This Article