කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 111 දක්වා ඉහළට
Thursday, 15 October 2020 - 8:01 | Views - 802

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 113 දෙනා සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වනවිට 1,721 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ අවසන්වරට වාර්තා වූ එම පොකුරේ ආසාදිතයින් 113 දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ නිරෝධායනයට වෙමින් සිටි 05 දෙනෙකු සහ සෙසු 108 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5170 දක්වා ඉහළ ගියා.
ඊයේ පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ අතර ඔවුන් කුවේට් සහ කටාර් හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව ආසාදිතයින් 1800ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 3357ක්.
එමෙන්ම, කටුනායක ආයෝජන කලාපය තුළින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආයෝජන මණ්ඩලය සඳහන් කළේ මීට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 150 ක වාර්තා ඊයේ නිකුත් වූ අතර, ඉන් 37 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු බවයි.
මේ අතර, කොරෝනා ආසාදිත කාන්තාවකගේ සැමියෙකු කොළඹ මැනිං වෙළඳපොලේ සේවකයෙකු ලෙස කටයුතු කිරීම නිසා එහි වෙළදසැල් 70 ක් ඊයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර, විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව එම වෙළදසැල් අද යළි විවෘත කළ බවයි වෙළඳපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කොරෝනා වැළදුණු කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති අතර, ඇයගේ සැමියාගේ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද නිකුත් වීමට නියමිතයි.
මැනිං වෙළඳපොලේ වෙළඳුන් හා සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ වේල්ලවීථිය පොලිසියේදීයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ කිසිදු ආසාදිතයෙකු දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැති බවයි.
මේ අතර, කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණීමට ඇති අපහසුතාවය සලකා බලා අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සඳුඳා මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළා.
පවතින තත්ත්වය හමුවේ සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ලබන 29 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සබරගමුව පළාත් සභාව නිවේදනය කළා.
කළුබෝවිල රෝහලේ සායනවල ඖෂධ තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැකි අතර, ඊට අදාළ දුරකතන අංක කිහිපයක්ද එම රෝහල ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව දියවැඩියා සායනය සඳහා 0113 681992 දුරකතන අංකයද, කායික රෝග වෛද්‍ය සායනය සඳහා 0113 681990 දුරකතන අංකයද ඇමතිය හැකියි. එසේම, හෘද රෝග සායනයේ ඖෂධ ලබා ගැනීම සඳහා 0113 681998 දුරකතන අංකයද, බාහිර රෝගී අංශයේ සායන ඖෂධ ලබාගැනීම සඳහා 0113 681986 දුරකතන අංකයද ඇමතිය හැකියි.
මේ අතර, රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ කොරෝනා මර්දනයට අවශ්‍ය ශක්තිය තමන් සතුව පවතින බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියා.
Share This Article