ප්‍රංශ රාජ්‍යය කළඹමින්, ශ්‍රී ලංකා සම්භවය සහිත පුද්ගලයෙකු එකම පවුලේ පස් දෙනෙකු සාහසික ලෙස ඝාතනය කෙරූ හැටි
Wednesday, 14 October 2020 - 14:45 | Views - 3,305

සතියක් ගත වී ගොස් තිබේ. ඒ බිහිසුණු ඛේදවචාචකයේ තිගැස්ම තවමත් ප්‍රංශයේ මිනිසුන් අතරින් පහව ගොස් නැත.
පිහියකින් ඇන, මිටියකින් පහර දී පස් දෙනෙක් මරා දමා තිබිණි. මරා දැමූවන් අතර 4 දෙනෙක් නොදරුවන්ය. මේ මරණ පහට අමතරව තවත් තිදෙනෙක් පිහි පහරින් රෝහල්ගත කර ඇති බව ප්‍රංශයේ BFM TV මාධ්‍ය ජාලය සෙනසුරාදා දහවල් (02) වාර්තා කළේය.
මේ අපරාධය සිදුවන්නේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ සම්භවයක් සහිත පවුලකය. පැරිසියට නුදුරු ජනාකීර්ණ Noisy-le-sec ප්‍රදේශයේ ඔවුුහු ජීවත් වෙමින් සිටියහ. විශ්වාස කරන ආකාරයට සිදුවීමට මුල පවුල් ආරවුලකි. මේ සමූහ ඝාතකයාත් එම පවුලේම සාමාජිකයෙකි.
විදෙස් මාධ්‍යය වාර්තා කළ ආකාරටය සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.
සිද්ධිය වාර්තා වන්නේ පසුගිය 03 වෙනි දා සෙනසුරාදා ය. දෙමළ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික සහෝදරයෙකු හා සහෝදරියක සිය පවුල් සමග ප්‍රංශයේ Noisy-le-sec ප්‍රදේශයේ එම්මානුවෙල් ආර්ගෝ නමින් හඳුන්වන මාවතේ දෙමහල් නිවසක ජීවත්වූහ.
ඔවුන් ප්‍රංශයේ පදිංචියට පැමිණ ඇත්තේ මීට අවුරුදු 15කට කලිනි. මුල් පදිංචිය යාපනය ප්‍රදේශයේ සංඩිලිපායි හිය. මේ පවුල් දෙක Noisy-le-sec හි එම්මානුවෙල් ආර්ගෝ මාවතේ නිවසට පදිංචියට පැමින ඇත්තේ මීට වසර 3කට පමණ පෙරය.
වාර්තාවන ආකාරයට මේ පවුල් දෙක සිද්ධියට පෙර සාමකාමී ජිවිතයක් ගත කර තිබුණත් මීට සතියකට පෙර යම් ආරවුලක් නිරාකරණය කිරීමට පොලිසිය මේ නිවසට පැමිණි ආකාරය අසල්වැසියන් විසින් නිරීක්ෂණය කර තිබිණි. එහෙත් එය මෙවැනි අපරාධයකින් කෙළවර වනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා කර තිබුණේ නැත.
පසුගිය 02 දා සෙනසුරාදා දහවල් 11 -12 අතර ලේ පෙරාගෙන දිව ආ පිරිමි ළමයෙක් අසල වූ අවන් හලකට ගොඩ වැදුනේය. බරපතළ කැපුම් තුවාල සහිතව දැඩි ලෙස කම්පනයට පත් වී සිටි ඔහු අවන්හල් හිමිකරුට හඬමින් පවසා තිබුණේ සිය මාමා පිස්සකු සේ වියරුවෙන් නිවසේ අයට පිහියෙන් අනිමින් මිටියකින් පහර දෙන බවය.
අවන්හල හිමිකරු මොහොමඩ් හෙමානී (Mohamed Hemani) නැමැත්තෙකි. ඔහු වහාම සිය අවන්හල තුළම දරුවාට ප්‍රථමාධාර ලබා දෙමින් අපරාධය පිළිබඳ පොලිසියට දැන්වූයේය.
මේ දැනුම් දීමත් සමග සිද්ධිය වූ ස්ථානයට පොලීසිය පැමිණියයේය. NewsWeek වෙබ් අඩවිය වාර්තා කළේ පොලිසිය එම ස්ථානයට යන විට මිය ගිය අයගේ සිරුරු පහට අමතරව බරපතළ තුවාල ලැබූ හෝ සිහි සුන් වූ පුද්ගලයින් පස්දෙනෙක් දුටු අයුරුය. ඔවුන්ගෙන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටි අතර දෙදෙනෙකු “සාපේක්ෂ හදිසි” තත්වයක පසු වූ බව පොලිසිය කීවේය. බරපතළ තුවාල ලැබූවන් අතර මේ අපරාධය කළ මිනීමරුවා ද වූයේය.
තැන තැන වැටී මිය ගිය දරුවන් සිව් දෙනෙක් හා කාන්තාවක විය. මිනී මරුවා සිය සිය අවුරුදු පහේ දරුවාත්, අවුරුදු නවයේ දරුවාත්, සිය බිරියත්, සොයුරියගේ මාස 18ක ළදරුවා සහ අවරුදු පහක දරුවා ද මරා දමා තිබිණි. මේ තැනැත්තා සිය බාල දරුවාව මරා දමා තිබුණේ ගෙල සිර කිරීමෙන් බව පොලිසිය අනුමාන කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයට ලක් වූ අපරාධ කරුගේ සොයුරියත් ඇයගේ සැමියාත් සිටියේ බරපතළ කැපුම් තුවාල සහිතවය. මේ විනාශයෙන් පසු සිය දිවි හානි කරගැනීමට අපාරාධකරු උත්සාහ කර ඇති අයුරු පොලිසිය නිරීක්ෂණය කළේය. අපරාධයට යොදා ගත් පිහිය හා මිටිය ඔහු අසල වැටී තිබිණි.
සියලු දෙනා රෝහල් කරා ගෙන යෑමට කටයුතු සිදු කොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. අසාධ්‍ය පුද්ගලයන් පැරීසියට නුදුරු බෝජොන් ( Hospital Beaujon ) රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කෙරිණි.
Noisy-le-sec ප්‍රදේශයේ ද්‍රවිඩ සම්භවක් සහිත ලාංකික පිරිසක් වෙති. ඔවුන් 80 ක් පමණ එකතුව පිහිටුවා ගෙන ඇති ප්‍රංශ දමිළ සංවිධානයේ සභාපති ශසී මහාලින්ගම්ය. ඔහු සිටියේ සිද්ධිය සම්බන්ධව විමතියෙන් පසුවිය.
'ඔහු ඉතා සන්සුන් පියෙක්. දරුවන්ට ඉතාමත් කිට්ටුයි. ඔහු තම 5 හැවිරිදි පුතා සෑම දිනකම පාසැලට රැගෙන ගියා. ඒ ඔහුම තම බිරියත් දරුවන් දෙදෙනාත් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කරලා. ඔහු එසේ කරාවි යැයි සිතා ගැනීමට නොහැකිය. මට මේ සිදුවීම අදහා ගන්න බෑ.''
මිනීමැරුමට සම්බන්ධ චූදිතයා පැරීසියේ ආපනශාලාවක මුළුතැන් ගෙයි සේවකයෙකි. දෙමහල් නිවසේ ජීවත්වූ මොවුන් සමගියෙන් ජීවත්වූ බව අසල්වාසීන්ගේ ප්‍රකාශ වලින් කියැවිණි.
මෙම සිද්ධිය පිළිබඳ සොයා බලමින් theleader වෙබ් අඩවියට වාර්තාවක් සැපයූ ප්‍රංශයේ ජීවත්වන සුනිල් ආනන්ද කියා තිබුණේ සිද්ධියට පෙර දින, එනම් සිකුරාදා සවස මෙම පවුල් දෙකම ඔවුන් නිතරම යන හින්දු කෝවිලේ පූජාවකටද සහභාගීවී පැමිනෙනු ඇසින් දුටුවන් වූ බවය.
සිද්ධියට පසු දින මුළු ප්‍රංශයේම මාධ්‍යවල ප්‍රධානම සිරස්තලය වූයේ මේ සිද්ධිය ය. ඔවුන් විටින් විට සිද්ධියේ තොරතුරු යාවත්කාලීන කළේය.
මේ විශාල මාධ්‍ය ප්‍රචාරණය හේතුවෙන් මුලු සමාජයේම අවධානය මේ ඛේදවාචකය වෙත යොමු වී තිබිණි. මේ අතර සිද්ධිය සම්බන්ධව ප්‍රංශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාව අතර විවිධ කට කතා පැතිරී ගියේය.
දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සැකකරු සඳහා බදාදා අවසරයකින් තොරව අනිවාර්ය රෝහල්ගත කිරීමේ නියෝගයක් ලබාගෙන ඇති බවත් පසුව ඔහුව හුදෙකලා සිර කඳවුරක තැබීමට නියමිත බවත් පැමිණිලි පාර්ශවය විදෙස් මාධ්‍ය වෙත කීවේය.
තවමත් වශේෂඥ මනෝ විශ්ලේෂකයන් මේ පුද්ගලයාගේ සාපරාධී ඝාතන පිළිබඳ ප්‍රශ්න කිරීම අරඹා නැත. මිනී මැරුම්වලට හේතුව පැහැදිලි නැත. ප්‍රංශ පොලිසිය තවමත් මේ පරාධයේ සුලමුල මුල සොයමිනි.
ජාලිය විරක්කොඩි
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..
Share This Article