මහන මැෂිමකට හීන පවරලා, ආදරයක් නිසාම ජීවිතයෙන් වන්දි ගෙවූ, ගාමන්ට් කෙල්ල සඳරේණුගේ කඳුළු කතාව
Tuesday, 13 October 2020 - 10:30 | Views - 824
කොරෝනාව තදින් රිද්දන්න ගන්නකොට, ආකාසේ අකුළගත්තූ බොහෝමයක් උනුන් මේ ඉසව්වෙන් ඈතක උන්නා. දියර-වලින් නාස් පුඬු පවා වහගන්න තනන, උන්ගේ ඇතුළාන්තයේ භීතිය ගැන මට අවබෝධයක් තිබුණා.
 
ඒ මීට මාස ගණනකට කලින්... ඒත් ඒ සන්දිය ආයෙම ඇවිදින්... මම ගියා රුවීව හම්බෙන්න. පුරුදු පාරෙන්. පුරුදු හාදයෙක් එක්කලා.....

මේ තමයි ඒ කතාව.... හැමෝම හංවඩු ගහන “ගාමන්ට් කෙල්ලක්” ගැන කතාවක්. ජීවිතේ මහා දුකක් කියන්න, වේදනාවක් කියන්න නොදන්න, උන්ගේ ඇතුළාන්තයේ ඇත්තම කතාවක්.....................!!
 
“මගේ අම්මටයි තාත්තාටයි ආදායමක් තිබුණේ නැහැ. එයාලා කළේ කුඹූරු වැඩ. තාත්තා තමා හුඟක් මහන්සි වුනේ මාවයි මල්ලිවයි උස් මහත් කරන්න. යන්තම් මල්ලි හත අට වසර වගේ වෙනකොට... මම ගාමන්ට් රස්සාවට ගියේ. එතකොට මට 18 පිරුණා විතරයි. ඒලෙවල් වලින් ඒ එකයි බී දෙකයි.. මම කැම්පස් සිලෙක්ට් වුනා. ඒත් මම යන්න කැමති වුනේ නෑ. හේතුව මම දැනගත්තා, මම කැම්පස් ගියොත් අම්මලාට අමාරු වෙනවා මං වෙනුවෙන් සල්ලි හොයන්න... කී දාහක් යටකරන්නද එයාලා... අන්තිමේ මම ඒ හීනේ අතැරියා...”

 
ඒ තමයි සඳරේණුගේ කතාව... එකෝමත් එක කාලෙක ඈ කටුනායක දිහාවේ ගාටනවා, තවත් සමනළියෝ එක්කලා.. දිගු කෙහෙරැලි... හිනා පොඩිති.. අඩුලුහුඬුකම් නැතිව. අව්වටත් වැස්සටත් අත පාන උන්නුගේ ජීවිතේ මහා පුදුමයක් වෙන්නයි යන්නේ...
 
“ගාමන්ට් එකේ මගේ හොඳම යාළුවා රශ්මි... එයායි මායි හිටියේ එකම බෝඩිම් කාමරේ... එයාගේ අම්මා ඔත්පලයි.. තාත්තාට ඇස් පේන් නෑ. තව නංගි කෙනෙක් හිටියා. රශ්මි තමයි සල්ලි යවන්නේ එයාලාට. එයාලාව බලාගන්නේ... වෙලාවකට ඒකි වැලහින්නක් වගේ මගේ උරහිස උදුරගෙන අඬනවා. මමත් ඒකි එක්කලා අඬනවා...”
 
“ටාගට්” එකක් අස්සේ ජීවිතේ හංඟගෙන... කඳුළු ටොන් ගණනේ ගණන් හදාගෙන... සඳරේණු “හුස්ම නොනවත්වා” කියමින් ඉන්න වේදනාජනක කතාවක්. ඇගේ පුංචි අතැඟිලි වෙහෙස ගන්නවා හරි හරියට. ඈ අර “මැෂිමක්” ළඟ ඇගේ ජීවිතේ දිය කර හරිනවා සැහැල්ලුවට. ඇගේ හැම හීනයක්ම... ඇගේ මළනුවන්ගේ... ඇගේ දෙමව්පියන්ගේ.... ඒ හැම හීනේම. ඒ “මැෂිම” ඇතුළේ ගුලි ගැහිලා තිබුණා.
 
“මල්ලි ඕලෙවල් කරන කාලේ.. එයාට සල්ලි යවන්න ඕනි මම... අම්මලා මාව විශ්වාස කළා. එයාලාව බලන්න ගමට යනකොට මම පමුණුවෙන් රෙදි ලෝඩ් එකක් අරන් යන්නේ. අම්මා හරි ආසයි මම එනදවසට.. මම ආසම මඤ්ඤොක්කා මැල්ලුම එදාට එයා හදනවා. තාත්තා කලින්ම ගෙදර එනවා කුඹූරු වැඩ අතැරලා.”
 
සඳරේණුගේ වියමනේ, අයිතිකාර හාදයෙක් උන්නා. ලොකු ඇස් ගෙඩි දෙකක් අයිති වෙච්ච... උස මහත හාදයෙක්! ඒ හාදයාගේ නම සම්පත්..
 
“සම්පත් අයියා පොඩි පොඩි බිස්නස් වැඩ කරන්නේ.. එයායි මායි අතරේ ආදර සම්බන්ධයක් ඇතිවුනේ මම ගාමන්ට් ගිය මුල් කාලේදිම. ගොඩක් වෙලාවට, ගෙදරට සල්ලි දාන්න ඕනි වුනාම එයාගේ අතට තමා මම දෙන්නේ. එයා බෑන්ක් කරනවා ගිහින්. එයා දැනන් හිටියා මගේ රස්සාව කොච්චර දුකක් ද කියන්න. එක එක සුපර්වයිසලගෙන් කුණු බැනුම් අහගෙන, අඬා වැටෙනකොට, එයා තමයි මගේ දුක අහන්න මගේ ළඟ හිටියේ......”
 
සඳරේණු හුස්ම ගන්නවා අමාරුවෙන්. එයා දැන් මේ අවකාශය දිගේ බඩ ගාමිනුයි ඉන්නේ. කොයිම තැන්වල නතර වෙනවා වුණත්, මේ කතාව අවසානයක් වෙනකන් “සඳරේණු” මා එක්කලා ඉන්නවා.
 
“කාලය ගෙවිලා ගියා. හරිම ඉක්මනට... එකපාරම මගේ අහිංසක ලෝකෙට කුණාටුවක් කඩා පාත් වෙනකන්ම! සම්පත් අයියා හරි ඉක්මනට වෙනස් වුනා. මට තේරෙන් නෑ ඒ කොහොමද කියන්න. ඒත්... එයා මම හිතපු කෙනාම නොවන බව මට තේරුණා. එයා කෙල්ලෝ සෙල්ලමට ගන්න කෙනෙක්. එයාගේ ඇස්වලට ලෝබකම් කරගෙන හිටියත්, එයා මට යන්තම්වත් ආදරේ නෑ කියලා මම දැනගත්තා.. එයාගේ අනිත් ගැහැණු දැරිවියෝ මාව හොයාගෙන ගාමන්ට් එකට ආවා...”


සඳරේණුගේ කතාව අවසන් වෙන්න ළඟයි. අනේ දෙවියනේ!! ඒක ඒ තරම් දුක්බර එකක් වෙන්න එපා...!!
 
“සම්පත් අයියා මාව අත අරින්න කැමති වුනේ නෑ. එයා මගේ නම කැත කළා. හැමෝටම මං ගැන වැරදි කිව්වා. මට දුක, මම ගොඩක් ළඟින් හිටපු රශ්මි පවා ඒ කතා විශ්වාස කළා. එයත් මට වෙනස්කම් කරන්න ගත්තා. මේ දේවල්-වලින් මම මානසිකව කඩන් වැටුණා. ටාගට් එක දෙන්න බැරුව කුණු බැනුම් අහන තත්ත්වයට පත් වුනා. ගාමන්ට් රස්සාව එපාම වුනා. අතඅරින්න බැරි හේතුව වුනේ මගේ මල්ලි, අම්මා තාත්තා...”
 
මේ සෘතුව මේ විදිහටම ගෙවී යනවා. අවසානයේ හිම වලස්සූ, බිම දිගාවෙනකන්ම... හිම කඳු දියවෙලා බිම පතිත වෙනකන්ම...!
 
“ගාමන්ට් කෙල්ලෙකුට ආදරේ අයිති නෑ. උන් සමහරක් උන් කියන හැටියට සෙල්ලම් බෝනික්කියෝ එක එකාලගේ අතින් අත යන... සම්පත් අයියා හිතුවෙත් එහෙමයි. එයා මගේ බෝඩිම ළඟ කෑ ගහනකොට.. මට ගණිකාව කියලා, බඩුවක් කියලා ගල් ගහනකොට... මට ලැජ්ජාවක් දැණුනා. ඒ දේවල් හුළඟ වගේ ඉක්මනින් පැතිරිලා ගියා.. මට බෝඩිමෙන් එළියට බහින්න වුනා. හොඳම යාළුවා නැතිවුණා...”
 
ඈ අන්තිම ගමනට කලින්... රුපියල් විසි පන්දාහක මුදලක් දෙමව්පියන්ට යවලා තිබුණා. සඳරේණු ඇත්තටම දුම්රියට පැන්නාද? එහෙම නැත්තම්.... ඈ ඒකට කෝම හිත හදාගත්තද කියන්න තේරෙන්නේ නැහැ. ඒත් ඇගේ කඳුළු කතාව ඩයරිය පුරාවටම කුරුටුබලි ගාලා තිබුණා.

“මට මේ ජීවිතේ ඇති දැන්... මට තවත් හීන නෑ කාගෙන්වත් ඉල්ලන්න තරම්..! මට දුක මගේ අම්මා තාත්තා ගැන.. පොඩි මල්ලි ගැන..!! ඒත් විශ්වාසයි මම නැති වුණත් ඌ මගේ අම්මා තාත්තා බලා ගනී...!! සම්පත් අයියට මම වෛර කරන් නෑ තුන් හිතකින්වත්... එයා මාව ගණිකාවක් හැටියට හංවඩු ගැහුවත්... එයාගේ හදවත දන්නවා මම පිරිසිදු කෙල්ලක් බව. අඟුලානට එන යන උන්ගේ දාහක් ඇස් අස්සේ සම්පත් අයියට මම වසඟ වුන එක ගැන මට දුකක් දැනෙනවා..”
 
සඳරේණු අද නැහැ. දැන් දවස් තුන්සීය හැට පහ ගණනේ ගෙවිලා ගිහින්.... ඈ ගැන මතකය මේ මහා පොළවට යට වෙලා ඇති. තවත් එක, පිරිමින්ගේ දරදඬුකම්වලට යට වුනු අහිංසක ගැහැනියකගේ කතාවක් විදිහට! එක්කෝ විළාපයක් හැටියට!!
 
“ඒකි ඇත්තටම කෝච්චියට පැන්නද? එහෙම නැත්තම් අවසිහියෙන් ගිහින් ඒකේ හැප්පුනාද කියන්න දන් නෑ. එයාට මැරෙන්න තරම් උවමනාවක් තිබුණේ නෑ. මට හිතෙන්නේ දෙවියන් වහන්සේ ඒකිට එන්න කියන්න ඇති.. ඒ තරම් වේලාසනින්.. ඒ අවුරුදු 25ට ඒකි මහා දුකක් වින්ඳේ.. ඒකිට දුක් දුන්නු උන් එකෙක්වත් යහතින් නෑ මහත්තයෝ.. අර සම්පත් කියන එකා කරන්ට් එක වැදිලා මැරිලා ගියේ..!! ඌට පළිසන් දුන්නා, ඒ කෙල්ලට දීපු දුක්...”
 
ජීවිතේ එහෙමම ගෙවුණාවේ..!! ඇඳිරියට කලින් එන්න හිතාගෙන මම තව රුපියල් සීයේ නෝට්ටු දෙකක් “රෝද තුනේ” අයිතිකාර මහත්තයාට දුන්නා.
 
By Samitha Lakshan
 
(මෙම කතාවේ මුල, මැද සහ අග හෙළි පෙහෙළි කොට දුන් ප්‍රගීත් එස්. නාලින්ද සොහොයුරාට විශේෂ ස්තුතිය! පුද්ගලිකත්වය තකා මෙහි එන සියලු නම් ගම් වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න!!)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top