කොරෝනා වැළැක්වීමේ සදාචාරාත්මක නොවන පියවරක් ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්
Tuesday, 13 October 2020 - 9:03 | Views - 2,871

ජනගහනයෙන් විශාල කොටසකට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබිරයේසස් ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගාල් ප්‍රතිශක්තිය ලෙස හැදින්විය හැකි එම උපක්‍රමය භාවිත කිරීම ජනතාව අනවශ්‍ය පීඩාවකට ලක් කරන අතර, ඇතැම් විට ඔවුන්ට මරණය උදාකරන බවයි.
ලොව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තුන් කෝටි 80 ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව දස ලක්ෂ 85,000කට අධිකයි.
ඉන් ආසාදිතයන් 80 ලක්ෂයකට වැඩි පිරිසක් සහ මරණ දෙලක්ෂ 20,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
මේ නිසා ඇමරිකාවේ කොරෝනා වෛරසය මර්දනය සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ගාල් ප්‍රතිශක්තිකරණය යොදා ගන්නා බවට චෝදනා එල්ල වනවා.
එය ඇමරිකානුවන්ට මරණීය තත්ත්වයක් උදාකරන බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයේ කවදාක හෝ එලෙස වෛරසයකට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැගීම සඳහා මෙම උපක්‍රමය භාවිත කර නොමැති බවයි.
Share This Article