කෝටි අටසියයක නිල් මැණික් පිළිම ජාවාරම අල්ලපු හැටි
Monday, 12 October 2020 - 13:52 | Views - 1,118
මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා දක්‍ෂ මෙහෙයුම් නිලධාරියෙකි. ඔහුගේ උපදෙස් හා සෘජු දායකත්වය මත අනාවරණය කරගත් අපරාධ සංඛ්‍යාව බොහෝය. තණමල්විල, සෙවණගල, දඹගල්ල හා මොනරාගල ආශ්‍රිත ප්‍රදේශවල අපරාධ රැසක නිරතවූවන් බොහෝමයක් මොහුගේ උපදෙස් මත සිදුවූ වැටලීම් නිසා මේ වන විටත් ලගින්නේ හිරගෙවල්වලය. මේ නිසා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා ඒ අවට බොහෝදෙනා දන්නා හඳුනන ජනප්‍රිය චරිතයකි.
 
ඉකුත් දිනක ඔහු යටතේ රාජකාරි කරන නිමල් කොස්තාපල්වරයා, ප්‍රේමතිලක මහතාට වැදගත් තොරතුරක් කීවේය.

“සර් මම දන්න කියන ඉන්ෆෝම කෙනෙක් ඉන්නවා. මිනිහා මට කිව්වා මොනරාගල පැත්තේ සෙට් එකක් නිධානයකින් ගත්ත නිල් මැණික් බුදු පිළිමයක් කෝටි 800කට විකුණන්න උත්සාහ කරනවා කියලා. සර් අපි පොඩ්ඩක් හොයලා බලමුද මේක...
 
කොස්තාපල් නිමල් ගෙනා එම තොරතුර ඉවත නොදැමූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා වහා ඔහුට උපදෙස් දුන්නේ හිතවත් ඔත්තුකරු (ඉන්ෆෝමන්) වහා තමාට මුණගස්සවන ලෙසය.
 
“පස්සේ මමත් ඒ පුද්ගලයා කැඳවලා මිනිහාගෙන් තොරතුරු විමසුවා. එතකොට එයා කිව්වා ඔව් සර් ඒ පිළිමේ සම්පූර්ණයෙන්ම නිල් මැණිකකින් තමයි කපලා තියෙන්නේ කියලා කිව්වේ. නිධානයකින් ගත්ත එකක්ලු. රුපියල් කෝටි 800කට හොඳ බයර් කෙනෙක් එයාලා හොයනවලු කියලා.”
 
ඒ අනුව කොස්තාපල් නිමල්ටද පැහැදිලි උපදෙස් දුන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා නිල් මැණික් පිළිමය විකුණන්නට උත්සාහ දරන පුද්ගලයකුගේ දුරකථන අංකයක් ඔත්තුකරුගේ සම්බන්ධකම් මත සොයා ගත්තේය.
 
“නිමල්, මෙහෙමයි වැඩේ කෙරෙන්න ඕන. ඕකුන් අපි කතා කරනකොට බය වෙනවා. පොලිසියෙන් කියලා. ඒ නිසා ඔවුන්ට කිසිම විදිහකින් නොදැනෙන්න කතා කරන්න ඕන. අපි දෙන්නම මැණික් බිස්නස්කාරයෝ කියලා කියමු. මම තමයි උඹගෙත් බොස්. එහෙම රඟපෑමක් කරමු. මුලින්ම මම කතා කරන්නම්. පස්සේ මම උඹට දෙන්නම්. උඹ තමයි ඊට පස්සේ කතාව අරගෙන යන්න ඕන.”
 
“හොඳයි සර්...”
 
පසුව මැණික් ව්‍යාපාරිකයකු සේ වෙස්ගත් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා නිල් මැණික් බුදු පිළිමය විකිණීමට උත්සාහ කරන පුද්ගලයාගේ දුරකථන අංකයට ඇමතුමක් දුන්නේ තමාද නිල් මැණික් බුදු පිළිමය මිලදී ගැනීමට කැමැති බව සඳහන් කරමින්ය.
 
දෙදෙනා අතර කතාබහ සාර්ථකත්වයක් ගෙන දුන්නේය.
 
“ලංකාවේ බිස්නස්වලට වඩා මැඩගස්කරයේ තමයි මම බිස්නස් කරන්නේ. එහෙ තමයි අපේ නිල් මැණික්වලට හොඳ ඉල්ලුමක් තියෙන්නේ.
 
ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ව්‍යාපාරික වෙස්ගෙන රිසීවරයේ එහා කෙළවරේ සිටින පුද්ගලයාට පවසන්නට විය.
 
“සර් මෙහෙ මොනවාද කරන්නේ.”
 
මෙහෙ මට පතල් තියෙනවා. මම මේ බිස්නස් එක කරන්නේ දැන් අවුරුදු 20ක් විතර ඉඳලා. ඔයා ඕන නම් මැණික් මුදලාලිලාගෙන් මගේ ගැන අහලා බලන්න.”
 
ව්‍යාපාරික වෙස් ගත් නිලධාරියා මැණික් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් ඒත් තමන් නොහඳුනන ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ නම් ගම්ද අදාළ පුද්ගලයාට පැවැසීය.
 
“නැහැ එහෙම අවිශ්වාසයකට නෙමේ සර් ඇහැව්වේ. දන්නේ නැද්ද ඔහොම කියලා පොලිසියෙනුත් කතා කරනවානේ ඒකයි...”
 
“හරි ඔයාලාට මාව විශ්වාස නම් අපි මේ ඩීල් එක කරමු. හැබැයි පිළිමේ මට බලන්න ඕන. බලලා තමයි ගාණ කතා කරන්න වෙන්නේ.
 
“සර් ඒක මගේ ගාව නැහැ. ඒක තියෙන්නේ මගේ යාළුවෙක් ළඟ. එයාලා ඒකට රුපියල් කෝටි 800ක් ඉල්ලනවා. සර් ගන්නවා නම් මම ටිකක් අඩු කරලා කතා කරලා දෙන්නම්...”
 
දෙදෙනා එලෙස ඇරඹූ කතාබහෙන් පසු දුරකථන විසන්ධි වූ අතර ඊට මොහොතකට පසු යළි දෙදෙනා අතර කතා බහ ඇති විය.
 
“මට කියන්නකෝ ඕකේ බර... උස, පළල එහෙම. මොකද මම ඕක තවම දැක්කේ නැහැනේ. මොකද දන්නවද ඔයා කියන මිලට ඕක වටිනවද කියලා බලන්නත් එපැයි.”
 
ව්‍යාපාරික වෙස් ගත් පොලිස් නිලධාරියාගේ කතාබහෙන් අනතුරුව පුද්ගලයා බුදු පිළිමයේ බර, උස හා පළල යළි දුරකථනයෙන් පොලිස් නිලධාරියාට පැවැසුවේ ඒ වනතුරුත් ඔහු පොලිස් නිලධාරියකු බව නොදැනය. ඒ තරම් හොඳින් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සිය රඟපෑම සාර්ථකව ඉටු කරන්නට විය.
 
“සර් මේක ග්‍රෑම් 50ක් විතර බරයි. අපිට ඕන ඉක්මනට මේක විකුණලා දාන්න. සර්ට මැඩගස්කරයට ගෙනිච්චොත් කෝටි 1000කට විතර දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම.”
 
එහෙත් පොලිස් ව්‍යාපාරිකයා ඊට එකඟ නොවීය. “ඔයා කියන විධියට නම් ඕක කෝටි 500ක් විතර වටියි. ඊට වඩා වටින්නේ නැහැ.”
 
“එහෙම කියන්න එපා සර්. මේක....”
 
“නැහැ නැහැ මම ඕන තරම් ඔය කියන බර තියෙන බඩු විකුණලා තියෙනවා. මගේ ගාණ කෝටි 500යි. ඔයාලා කැමැති නම් කියන්න”
 
එසේ කියමින් පොලිස් ව්‍යාපාරිකයා සිය දුරකථනය විසන්ධි කළේය.
 
“ඇයි සර් ලයින් එක කට් කළේ.”
 
කතාබහ කෙරීගෙන යන අතරතුර එකවරම දුරකථනය විසන්ධි කිරීම ගැන මවිතයට පත් වූ කොස්තාපල් නිමල් සිය ප්‍රධානියාගෙන් විමසීය.
 
“උඹ බය වෙන්න එපා. ඕකුන් ආයෙත් අපිට කතා කරනවා ෂුවර් එකටම.”
 
ගතවූයේ පැය හත අටකි. නැවතත් පොලිස් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය නාද විය. එහා කෙළවරේ වූයේ කලින් කතා බස් කරමින් සිටි තැනැත්තාය.
 
“සර් ඒක නෙමේ මෙහෙම කරමු. අපි කෝටි 750කට මේක දෙන්නම්. අපිටත් මේ ඩීල් එක ඉක්මනට ඉවර කරගන්නයි ඕන...”
 
“එහෙම බැහැ. මට බැහැනේ අතින් පාඩු විඳින්න. මම කියන්නම්, කෝටි 500කට ඩීල් එක ෆිනිෂ් කරමු.”
 
“එහෙම නෙමේ සර්”
 
“මට වැඩ තියෙනවා. අයිසේ. ආ ඉන්නවා මේ මගේ ගෝලයත් එක්ක ඕක කතා කරගන්නවා.”
 
ඇඟට පතට නොදැනෙන සේ එසේ කී පොලිස් ව්‍යාපාරිකයා සිය දුරකථනය කොස්තාපල් නිමල්ට දුන්නේය.
 
නිමල්ද ඊට එක් වුණේ මැණික් ව්‍යාපාරිකයකු ලෙසය.
 
“මහත්තයා මේක ඉවර කරමු. අපි 750කට ඩීල් එක කතා කරමු.’
 
“ඒ ගාණට අපේ බොස් කැමැති නැහැ යාළුවා. බොස්ගේ ගාණ කෝටි 500යි....”
 
“එහෙම නෙමේ මහත්තයා එහෙනම් කෝටි 650කට බිස්නස් එක ඉවර කරමු.”
 
නිමල් හා මැණික විකුණන පිරිස සමඟ ඇති වූ දුරකථන සංවාදයෙන් අනතුරුව නිල් මැණික් බුදු පිළිමය රුපියල් කෝටි 650කට විකිණීමට තීරණය වුවද නිමල් ඔවුනට කීවේ එය නිශ්චිතව තහවුරු කිරීමට බොස්ගෙන් විමසිය යුතු බවය.
 
ඒ අනුව ව්‍යාපාරික වෙස් ගත් කොස්තාපල් නිමල් විකුණන පාර්ශ්වයට කීවේ මැණික් පිළිමයද රැගෙන මොනරාගලට පැමිණ තමන්ට ඇමතුමක් දෙන ලෙසය. මැණික විකුණන පාර්ශ්වයද ඊට එකඟ විය. අනුරාධපුර, සාලියපුරේ සිට පසුදාම බුත්තල ප්‍රදේශයට පැමිණි ඔවුහු බුත්තල නිවාඩු නිකේතනයක එදින ලැගුම් ගත්හ.
 
ඒ අතර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබිණි. ඒ මොනරාගල, ලෙනගලලන්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන ගංජා ජාවාරමක් සම්බන්ධයෙනි. ඒ තොරතුරු ඔස්සේ
 
ලෙනගලලන්ද මහ කැලය තුළට ගිය නිලධාරීන්ට එදින මැණික් විකුණන්නන් සමඟ කතාබස් කිරීමට නොහැකි විය. මැණික විකුණන්නන් ඔවුන් ඇමතුමට කිහිප වතාවක්ම උත්සාහ කළද කැලෑ ආශි්‍රත ප්‍රදේශයන්හි “සිග්නල්” නොමැතිකම නිසා නිලධාරීන්ගේ දුරකථන අක්‍රිය වී තිබිණි. ලෙනගලකන්දට ඇතුළු වූ නිලධාරීන් ගංජා හා කසිප්පු සහිතව පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ද රැගෙන මොනරාගලට පැමිණෙන විටත් රෑ බෝ වී තිබූ අතර සැකකරුවන් මොනරාගල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිලධාරීහු වෙහෙස මහන්සියද නිසා තද නින්දකට වැටුණහ.
 
පසුදාට පහන් වන විටම මැණික විකුණන්නන්ගෙන් නිලධාරීන්ට ඇමතුම් ලැබිණි.
 
“ඔව්... අපි ඊයේ පතල් වගයක් බලන්න ගියා. ඒ පැත්තේ සිග්නල් තිබුණේ නැහැ. ඉන්න මම බොස්ට දෙන්නම්. ඔයාලා බොස් එක්ක කතා කරගන්න.”
 
මැණික් ව්‍යාපාරික වෙස්ගත් කොස්තාපල් නිමල් ඔවුනට කීවේය. නිමල්ට මෙම නාටකයේ ප්‍රධාන චරිතයක් හිමි වී තිබූ අතර ඔහු එය කාටත් සැක නොසිතෙන අයුරින් ඉටුකරන්නට සමත් විය.
 
“බොස්, අර මැණිකේ කට්ටිය කතා කරනවා” එසේ කියමින් නිමල් දුරකථනය ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලකට දුන්නේය.
 
“ඔව් මොකද කියන්නේ.”
 
“සර් මේක අවසානයක් කරමු. අපිට 650ක් දෙන්න”
 
“ඒක කරන්න බැහැ. ඕක එච්චර වටින්නේ නැහැ”
 
“ නැහැ සර් මේක තනි නිලක්. පරණ රජකාලේ බඩුවක්. සර් බලන්නකෝ.”
 
“හරි එහෙනම් කෝටි 600කට ඉවර කරමු. හැබැයි මට මැණික බලන්න ඕන. බලලා මට හරි ගියොත් ඒ වෙලාවෙම තමුසෙලාට මම කෑෂ්වලින්ම 600 දෙනවා.”
 
අවසානයේ දෙපාර්ශ්වයම එවැනි තීන්දුවකට එළැඹුණහ.
 
“අපි කොතැනටද එන්න ඕන” ඒ නිමල් ව්‍යාපාරිකයාගේ හඬය. ඒ අනුව මැණික විකුණන්නා නිමල්ට කීවේ බුත්තලට එන ලෙසය. ව්‍යාපාරික වෙස්ගත් නිලධාරීන් බුත්තලට ගියද මැණික් විකුණන්නන් ඒ පළාතේවත් නොවීය. නැවත ඇමතුම් අතර කතාබහ ඇරැඹිණි.
 
“එහෙනම් කුඹුක්වෙල්ලච්චි කඩේ ළඟ තියෙන මාරගහ යටට එන්න”
 
බුත්තල - මොනරාගල මාර්ගයේ රබර් ගස්වලින් පිරි විසල් පෙදෙසක පිහිටා ඇති විශාල මාර ගහක් අසලට එන ලෙස විකුණන පාර්ශ්වය යළි ව්‍යාපාරික වෙස්ගත් නිලධාරීන්ට කීවේය.
 
“එයාලට අපි ගැන සැකයකුත් තිබුණා. විශ්වාසයකුත් තිබුණා. එයාලා හිතුවා අපි පොලිසියට කියලා එයාලා පස්සෙන් එයි කියලා. මොකද ඔහොම නිදන් විකුණන්න ගිහින් හුඟක් අය මාට්ටු වෙලා තියෙන නිසා එයාලාත් අපිට එක එක තැන් කිව්වා. අන්තිමට තමයි ඔය මාරගහ ළඟට එන්න කිව්වේ.”
 
 “ඒත් මම ගියේ නැහැ. මොකද මාව හුඟක් අය දන්නවා. මාව දැක්කොත් මම පොලිසියේ කියලා උන් බිස්නස් එක කරන්නේ නැහැ. ඒ නිසා මම එස්.අයි. ගුණවර්ධනත් නිමල් රාලහාමිත් සුපිරි කැබ් එකකින් මාරගහ යටට යැවුවා. මමත් තව නිලධාරීන් කිහිපදෙනකුත් සිවිල් ඇඳගෙන නිල්පාට පැජරෝ එකකින් ටිකක් අෑතින් වෙන දේ බලාගෙන නතර වෙලා හිටිය.
 
 මට පේනවා මාර ගහ යට ටොයොටා පියර්ස් හයිබි්‍රඩ් එකක් නතර කරලා තියෙනවා. ඒකෙ කට්ටියකුත් ඉන්නවා වගේ පේනවා. ඒත් පැහැදිලි නෑ. කාර් එක ළඟින්ම තවත් පුද්ගලයෝ තුන්දෙනෙක් කතාබස් කරමින් ඉන්නවා. මම නිලධාරීන්ට උපදෙස් දුන්නා බුදු පිළිමය බලලා තමයි වැඩේ පටන් ගන්න ඕන කියලා.”
 
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත කැබ් රථයෙන් මාර ගහ යටට ගිය මැණික් ව්‍යාපාරික වෙස්ගත් නිමල් එතැන නතර කර තිබූ ටොයොටා පියර්ස් වාහනය අසලට ගියේ මුදල් යැයි හැඟෙන පරිදි පාර්සලයක්ද අතේ රැගෙනය. ටොයොටා රථයේ සියලු වීදුරු අඳුරු පැහැ ගැන්වී තිබිණි. ටොයොටා රථය අසලට ගිය නිමල් ඉදිරිපස වීදුරුව දෙස බලත්ම රියේ වීදුරු හීන්සැරේ පහතට වැටිණි. නිමල් සිනාමුසුව වාහනය තුළට නෙත් යොමු කරන්නට විය. ඉදිරිපස අසුනේ සිටියේ සිවුරු දරාගත් පුද්ගලයෙකි. මේ සියල්ලම ඊට අෑතින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට නිරීක්ෂණය වන අතර පැමිණි පෙජරෝ රථයද ඔවුහු සූදානම් කරගෙන සිටියහ.
 
“අරක බලන්න පුළුවන්ද”
 
නිමල් එසේ මුමුණද්දීම වාහනය තුළ තිබූ නිල් මැණික් පිළිමය සිවුරු දරාගත් පුද්ගලයා විසින් වාහනය තුළ සිටම නිමල්ට පෙන්වන්නට විය. ඒ සමඟ ලැබුණේ සංඥාවකි. වේගයෙන් පැමිණි පැජරෝ රිය ඒ අසල නතරවත්ම ටොයොටා වාහනයේ පැමිණි පිරිස අන්දමන්ද වූ අතර රථයෙන් බැස කතාබස් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා පණ එපා යැයි කියමින් දුවන්නට වූහ.
 
“ කලබල කරන්න එපා. අපි පොලිසියෙන්.”
 
සිය රාජකාරි හැඳුනුම්පත පෙන්වමින් ටොයොටා රථය අසලට පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රථයේ යතුර වහා සිය භාරයට ගත් අතර වාහනය තුළ සිටි සිවුරු දරාගත් පුද්ගලයා හා සෙසු තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්විණි. ඒ කෝටි 800ක් වටිනා බව කියන නිල්මැණික් බුදු පිළිමයද සමඟිනි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට රැගෙන යෑමෙන් අනතුරුව මේ පිළිබඳ සිය උසස් නිලධාරීන් දැනුවත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ඔවුන්ගෙන් ඉදිරි උපදෙස් පතන්නට විය.
 
කොට්ඨාස භාර වැඩ බලන පොලිස් අධිකාරි ගාල්ලගේ හා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත මහත්වරුන් විසින් සිද්ධිය සබරගමුව හා උෟව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ඇරැඹුණු අතර නිලධාරීන්ගේ ඊළඟ උත්සාහය වූයේ මෙතරම් වටිනා බුදුපිළිමය සැකකරුවන්ට ලැබුණු ආකාරය සෙවීම ය.
 
“අපි මෙයාලාගෙන් ඒ ගැන ප්‍රශ්න කළාම එයාලා කියන්නේ වෙනම කතාවක්. බුත්තල - පැල්වත්ත පාරේ දේවාලයක් කරන මනුස්සයෙක්ට තමයි මේ පිළිමය නිධානයකින් හම්බවෙලා තියෙන්නේ. මේ පිළිමය සම්පූර්ණයෙන්ම නිල් මැණිකකින් තමයි නෙළලා තියෙන්නේ. මේ මනුස්සයා මේ පිළිමේ දේවාලේ තියාගෙන වැඳුම් පිඳුම් කරලා තියෙනවා. පස්සේ මේක මෙයා එයාගේ නිමල් කියලා යාළුවෙක්ට කියලා තියෙනවා. මට මෙහෙම නිධානයක් හම්බවුණා. ඒක දැන් දේවාලේ තියෙනවා. ඒක වස් අරින්න ඕන. ඒකට දවස් හතක් යනවා. ඒ දවස් හත ඇතුළත මගෙන් මොනවාහරි අඩුපාඩුවක් වුණොත් ඒක මගේ ජීවිතයෙන් හරි ගෙවන්න වෙනවා කියලා.
 
ඔහොම දවස් හයක්ම වස් අරින්න පූජා පවත්වාගෙන හිටිය මේ මනුස්සයා දවස් හයකට පස්සේ හිටිහැටියේ ලොරියකට අහුවෙලා මැරෙනවා. ඒ 2020-09-25 වැනිදා. ඉන්පස්සේ මේ සේරම අර නිමල් කියන කෙනා දන්නවනේ. නිමල් කරන්නේ හොරෙන් දේවාලයට ඇවිත් මේ බුදු පිළිමේ හොරකම් කරනවා. නිමල් මේක අරගෙන ගිහින් බුත්තල යාළුවකුට කියලා මේක විකුණන්න හදනවා. ඒ යාළුවා බඩල්කුඹුර පහේ කණුවේ කෙනෙක් හේමන්ත කියලා. පස්සේ කළු මහත්තයා කියලා කෙනෙක් එක්ක එකතුවෙලා මේ පිළිමය විකුණන්න හදනකොට තමයි ඔය හාමුදුරුවෝ මේකට සම්බන්ධ කරගන්නේ. හාමුදුරුවෝ සාලියපුර පැත්තේ උපාධිධාරියෙක්. එයාලට සම්බන්ධ වෙනවා ස්ටාෆ්් ඉන්ජිනියරින් කෙනෙකුත්, යුද හමුදාවේ තවමත් රාජකාරි කරන කෙනෙකුන්ත් එයාලත් එක්ක සම්බන්ධ වුණු තවත් හමුදා සෙබළකුත් මේකට බේ‍රා්කර්ලා හැටියට සම්බන්ධවුණු අයත් එකතු වෙලා තමයි මේ පිළිමේ විකුණන්න උත්සාහ කරන්නේ. බේ‍රා්කර් ගාස්තුව විතරක් කෝටි 200ක්. කෝටි 600කට පිළිමේ විකුණලා කෝටි 200ක් බේ‍රා්කර්ලාටත් ඉතිරි කෝටි 400 එක්කෙනෙකුට කෝටි සියය ගානේ බෙදාගන්න තමයි මෙයාලා ප්ලෑන් කරලා තිබුණේ.”
 
ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතා සැකකරුවන් අල්ලාගත් ආකාරය එසේ පැහැදිලි කළේය. සැකකරුවන් මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
 
මේ අතර බුදුපිළිමය අත්අඩංගුවට ගැනීම පිළිබඳ කෙරෙන විමර්ශනය ගැන සොයාබැලීම සඳහා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාද පසුගිය සිකුරාදා මොනරාගලට පැමිණියේය. මොනරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත මහතාද සමඟ සාකච්ඡා පැවැත්වූ ඔහු ඉදිරි විමර්ශන ගැන අවශ්‍ය උපදෙස්ද විමර්ශන නිලධාරීන්ට ලබාදුන්නේය.
 
“මේ පිළිමෙ උස සෙ.මී. 5යි දශම 2යි. පළල සෙ.මී. 2යි, ඝනකම සෙ.මී. 1යි දශම 5යි. බර ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 200යි. ඒත් මේ මැණිකේ වටිනාකම අපට දැන්ම කියන්න බැහැ. දැන් අපි අත්අඩංගුවට අරන් ඉන්න හතරදෙනා මේ පිළිමය විකුණන්න කතාබස් කරපු බේ‍රා්කර්ලා. පිළිමේ අයිතිකාරයෝ තමයි පොලිසිය දැකලා දුවලා තියෙන්නේ. ඒ තුන්දෙනාම බුත්තල පදිංචිකරුවෝ. එයාලා අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්. ඒ තුන්දෙනා අල්ලන්න අදාළ නිලධාරීන් කටයුතු කරනවා.” යැයි.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
 
පොලිසිය භාරයට ගත් නිල් මැණික් බුදු පිළිමය කුමන ශත වර්ෂයකට අයත් එකක්ද එම පිළිමයේ වටිනාකම කොතෙක්ද යන්න දැන ගැනීමටත් බුදු පිළිමය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සබරගමුව හා උෟව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය මත මොනරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී, මොනරාගල කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. ප්‍රියන්ත ප්‍රේමතිලක ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂකවරුන් වන ගුණවර්ධන හා සුමිත්, සැරයන්වරුන් වන කුසුම්සිරි (5956), නිමල් (34386), ජීවන්ත (62936), සනත් (1607), කොස්තාපල්වරුන් වූ නිමල් (71782), රංජිත් (74720), ජීවේන්ද්‍ර (8960) හා කොස්තාපල් රියැදුරු ප්‍රේමරත්න (664) යන නිලධාරීහු නිල් මැණික් බුදු පිළිමය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.
 
පොලිස් විමර්ශන අනුව ලිපිය සකස් විය.
 
මව්බිම පුවත්පතින් උපුටාගන්නා ලද්දකි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top