බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 121ක්
Monday, 12 October 2020 - 8:49 | Views - 497

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 4752 දක්වා ඉහළ ගියා.
අලුතින් වාර්තා වූ ආසාදිතයින් 124 දෙනාගෙන් 121 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ නිරෝධායනයට ලක්වෙමින් සිටින කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 87 දෙනෙකු වන අතර, තවත් 34 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම විදේශයන් හි සිට පැමිණි තුන්දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට ඊයේ හඳුනා ගැනුණා.
කුවේට් හි සිට පැමිණි දෙදෙනෙකු සහ ඕමානයේ සිට පැමිණි අයෙකු මෙලෙස කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගත් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර 1307 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන් අතර මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ද ඇතුළත් වනවා.
මේ අතර, මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලක ඉදිකිරීම් සඳහා පැමිණි කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගත් පෙදරේරුවාගේ තවත් ආශ්‍රිතයන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
අදාළ පෙදරේරුවාගේ ආශ්‍රිතයන් 5 දෙනෙකු කොරෝනා ආසාදිත බව පෙරේදා දිනයේදී හඳුනා ගත් අතර, ඒ අනුව අදාළ පෙදරේරුවාගේ ආශ්‍රිතයන් 8 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි මන්නාරම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ටී. විනෝදන් සඳහන් කළේ.
ඊයේ දිනයේ මන්නාරම ප්‍රදේශයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ප්‍රදේශ ද නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කළා.
එමෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සිසුවියකට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි දියණියට පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර ඇත්තේ.
ඒ අනුව ඇය නවාතැන්ගෙන සිටි නේවාසිකාගාරයේ සිසුවියන් සහ කාර්ය මණ්ඩලයට අයත් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ පසුගිය හතරවනදා සිට විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා වසා තැබුණා.
එමෙන්ම, මිනුවන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සහ ගම්පහ ජනප්‍රිය පාසලක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.
ඊට අමතරව ඊයේ උඩුගම්පල ප්‍රදේශයෙන් හඳුනාගැනුනු පාසල් සිසුවියට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ. ඇය ලබන වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත අතර, ඇයගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් වෛරසය වැළඳී නොමැති බවට අනාවරණ වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ මෙම සිසුවියගේ මව පානදුර රෝහලේ හෙදියක ලෙස කටයුතු කරන අතර, ඇයට සහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවයි.
එහි වාර්තා ඊයේ ලැබී තිබූ අතර, ඒ අනුව ඔවුන්ට වෛරසය ආසදානය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
මේ වන විට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාල බල ප්‍රදේශය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.
එමෙන්ම, කටුනායක ආයෝජන කලාපයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තාවනවා.
කොරෝනා ආසාදිතයන් 1,432 කු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,307 ක්.
මේ අතර, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇඟලුම් කම්හල් සේවකයන් කෙරෙහි සමාජ වේදිකාවක් පැන නැගී ඇති බව සඳහන් කරන එම සංගමය අදාළ වෛරසය එම කර්මාන්තශාලාවට විශාඛා පට්ටම් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් හෝ ඉන්දීය ජාතිකයන්ගෙන් පැමිණි බවට එල්ල වන චෝදනාව සත්‍ය ද අසත්‍ය ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, බ්‍රැන්ඩික්ස් සමාගම යළිත් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින්නේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් සියළු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියළු දෙනා නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ බවයි.
ඒ බව තහවුරු කරමින් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන ලද සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බව ද අදාළ නිවේදනය මගින් එම සමාගම පෙන්වා දෙනවා.
ජුනි මස 25 අගෝස්තු 8 සහ සැප්තැම්බර් 22 වන දා ඉන්දියාවේ විශාඛා පට්ටම් හි තම කර්මාන්තශාලාවල සිට 341 දෙනෙකු ගෙන්වා ගත් බවත් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සහ දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු රජයේ නිර්දේශිත සියළු නිරෝධායන පිළිවෙත් අනුගමනය කර තිබෙනවා.
එමෙන්ම, තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ද ලක් කෙරුණු බවයි බ්‍රැන්ඩික්ස් සමාගම අවධාරණය කර සිටින්නේ.
එමෙන්ම, පසුගිය මාස දෙකක කාලය තුළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට ඉන්දියාවේ සිට පැමිණි කිසිවෙකු ඇතුළු නොවූ බවත් එම කර්මාන්තශාලාව ඉන්දියාවෙන් කිසිදු ඇණවුමක් භාර නොගත් බවත් කියා සිටියා.
තවද නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ රෙදිපිළි භාවිත නොකරන බව ද බ්‍රැන්ඩික්ස් සමාගම අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.
Share This Article