“චාමර වීරසිංහ, එක ස්ටේජ් එකේ මුණගැහිලත් මා එක්ක කතා කළේ නැහැ...” - ඔබේ සුසුම් පවන් වැදී, සුදු සඳුන් මලක වැනි ජනප්‍රිය ගී ලියූ, ප්‍රවීණ ගීත රචක කලාවේදී උපාලි බණ්ඩාර වීරසේකර
Thursday, 08 October 2020 - 17:46 | Views - 1,214
ඔය සුසුම් පවන් වැදී, නෙතු පියන් සැලේ රිදී...
ඔබ ගොළුයි හිතත් නිදි.. ඔබව තාම මටද හිමි...
(චාමර වීරසිංහ)
 
කොණ්ඩේ දිගට වවලා, කරාබුවක් දමලා..
අණ්ඩ දැමූ කලිසම ඇඳි මගේ පෙම්වතා..
(උරේෂා රවිහාරි)
 
දෙහි මලක් වගේ හැඟේ ඔබත් සිපගත්තම සුවඳ නොදැනෙනා...
දෙහි මලක් වගේ දැනේ ඔබත් දුර උන්නම සුවඳ ගෙන එනා...
(කිංස්ලි පීරිස්)

සුදු සඳුන් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා...
මට කඳුළු දිදී නුඹේ සුවඳට තව ළංවෙනවා..
(චාමර වීරසිංහ)
 
අම්මලාගේ හිත හදන්න, මට මනමාලියෝ බලන්න..
නොගිය තැනක් නෑ...
පෙම් කරලා මට බඳින්න, අපේ ලෝකෙ හදාගන්න,.
ඉඩ දුන්නෙත් නෑ..
(චාමර වීරසිංහ)
 
බැරිවී ගිය ඔබේ සිඟිති ලේන්සුව තවමත්
සුරැකිව මා ළඟමයි..
ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ,
කඳුළත් සුවඳත් තව එහෙමයි..
(කිංස්ලි පීරිස්)
 
මේ ගීත ගොන්න ඔබට අහලා නුහුරු නුපුරුදු ගීත නම් නෙවෙයි. අදටත් බොහෝ දෙනාගේ මතකයේ රැව්පිළි රැව් දෙන මේ අපූරු ගීතවල පද අයිතිකරු "උපාලි බණ්ඩාර වීරසේකරයන්".
 
ගී පද රචකයෙක්, ප්‍රවීණ ජනමාධ්‍යවේදීයෙකු වගේම නවකතා රචකයෙකු විදිහටත් දැන අඳුනගන්නා ඔහු එදා "කැසට් සීඩී" පට යුගයේ විවිධ ශෛලයේ ගීත ලියූ, ජනප්‍රිය ගී තරුවලට මං පෙත් හෙළි කරන අතිදක්ෂයෙක්...
 
ඉතින් මේ.. අප ඔහු සමඟින් කළ කතාබහක්.......
 
මුලින්ම කියන්න.. උපාලි බණ්ඩාර වීරසේකර කොහොමද ගී පද රචකයෙක් වෙන්නේ..?
ඇත්තටම මට කුඩා කාලයේ සිටම ආසාවක් තිබුණා ගී පද රචකයෙක් වෙන්න. ඒ ඉතින් ඔය ජනප්‍රිය හින්දි ෆිල්ම් එහෙම තිබුණු කාලේ. ඒ සිංදු රහයිනේ. ඉතින් මම ඒ විදිහට, ඒවා අහගෙන ඒ සිංදුවලට සිංහල වචන ලිව්වා. පොත්වල කුරුටු ගගා හිටියා. සිංදු විතරක් නෙවේ, ඒ කාලේදී කවි එහෙමත් ලිව්වා. ඔය අතරේදී තමයි මට ළමා ගීත ලියන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ රජරට සේවයට, චන්ද්‍රපාල කුරුවිට මහත්මයා හරහා. මම ඒ දවස්වල නීතිඥ ලිපිකරුවෙකු විදිහට තමයි වෘත්තියේ නියැලුනේ. ඔහු තමයි කිව්වේ, "මල්ලි ළමා ගීත ටිකක් ලියමු" කියලා. ඒ විදිහට මම ළමා ගීත රචනා කරන්න ගත්තා. රණ මොණරා, මමයි වීර මද්දුම බණ්ඩාර, චූටි මාලගිරවෝ වගේ ගීත. මේ ගීත අතරින් 'චූටි මාලගිරවෝ' ගීතය ජනප්‍රිය වුණා. ඒකේ මුල් ගායනය මියුලිකා රාජපක්ෂ. පස්සේ කාලෙක ඒ ගීතය තරුණ සේවා සභාවේ ස්වර්ණා තිලක සිල්වා ගායන ශිල්පිනිය ගායනා කළාට පස්සෙ තමයි ගොඩක්ම මිනිස්සු අතරට ගියේ.
 
මේ වෙනකොට ඔබ ගී පද රචනා කීයක් විතර කරලා තියෙනවද?
දැනටනම් ගීත 300ක් විතර ලියලා ඇති මගේ මතකේ හැටියට. ඒ අතරින් හුඟක්ම ජනප්‍රිය වුනු ගීත, කිංස්ලිගේ නෙත්විලේ, දෙහි මලක් වගේ, බැරිවී ගිය ඔබේ.. චන්දන ලියනාරච්චිගේ, මේ කඳුළු තොටුපළයි, සමිතා මුදුන්කොටුවගේ අම්මා, චාමර වීරසිංහගේ, ඔබ සුසුම් පවන් වැදී, සුදු සඳුන් මලක, වැල් දොඩම් මලක, අම්මලාගේ හිත හදන්න, සුරෙන්ද්‍ර පෙරේරාගේ ළං ළංව හිටියාට, නාමල් උඩුගමගේ ගේ, සංසාර මාවතේ, ප්‍රියංකර පෙරේරාගේ උමයංගනා.. මේ කියන ගීත බොහෝම ජනප්‍රිය වුනා.
 
ගී පද රචකයෙක් කිව්වට ඔබේ රූපය බොහෝ දෙනා දැන අඳුනන්නේ නැහැ?
මම ඉතින් පුවත්පත් කලාවේදියෙක් හැටියටනේ මුලින්ම කටයුතු කරන්නේ. ග්‍රේෂන් ආනන්ද මට මුලින්ම මෙලඩි හතරක් දුන්නා සිංදු ලියන්න. එදා තමයි ඔහු දැනගත්තේ මගේ හැකියාව. මම මුලින්ම මෙලඩිවලට තමයි ගොඩක් ලිව්වේ. 'සඳ කිඳුරු විමානේ' ගීතයත් මෙලඩියට ලියපු එකක්. මගේ රූපය ජනප්‍රිය නොවුණත් "පත්තරකාරයෙක්" හැටියට මට ජනප්‍රසාදයක් ලැබුණා. "කුමරි" කියන පත්තරේට "කාලෙකට පස්සේ" කියලා මම ලිපි පෙළක් ලිව්වා. ඒක මේ අයියා කෙනෙක් නංගි කෙනෙක්ට දෙන අවවාද ගැන කියන ලිපි පෙළක්. ඉතින් ඒ ලිපි පෙළ ගොඩක් ජනප්‍රිය වුණා. ගෑනු ළමයින්ගෙන් කෝල්ස් ආවා, එගෝල්ලොන්ගේ "අයියා" මම වුණා. එයාලගේ ප්‍රශ්න කියන්න ගත්තා මට. මම උපදෙස් දුන්නා ඒවාට.
 
උපාලි බණ්ඩාර වීරසේකර නවකතාකරුවෙකුත් වෙනවා?
ඔව්. මුලින්ම "කාලෙකට පස්සේ" කියන ලිපි පෙළ පොතක් බවට පත්වුණා. රත්තරං ඇස්, නෙත්මි, අංජලිකා, තුන්වැන්නා වගේ පොත් බොහෝමයක් රචනා කළා. මට මතක හැටියට පොත් 15ක් විතර...
 
ඇත්තටම ගීතයක හිමිකාරිත්වය තියෙන්නේ කාටද? පද රචකයාටද? සංගීත නිර්මාපකයාටද? එහෙම නැත්නම් ගායන ශිල්පියාට ද?
ඒක මෙහෙමයි. ලෝක තත්ත්වය අනුව ගීතය හිමිකාරිත්වය ලැබෙන්නේ පද රචකයාට. ඊට පස්සෙ අයිතිය සංගීතය නිර්මාණ කරන පුද්ගලයාට. ඊට පස්සේ ගීත වාහකයා, ගායකයා හෝ ගායිකාව. බටහිර ගීතවලට මේ ගැටලුව බලපාන් නෑ බොහෝ දුරට. මොකද ඒගොල්ලොම ලියලා, මියුසික් කරලා ඒගොල්ලොම ගීත කියනවා. නමුත් ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඕක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ගැන සාකච්ඡා බොහෝමයක් පැවතිලා තියෙනවා. අමරදේව ශූරින්, කේමසිරි මාස්ටර් වගේ අයත් මේ ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල අවසාන තීන්දුව වුනෙත් ගීතය අයිති පද රචකයාට කියලයි. දැනට "ගේය පද රචකයන්ගේ සංගමයක්" අපි පිහිටුවලා තියනවා. ඒ, මේකට විසඳුමක් හැටියටයි. බුද්ධිමය දේපල පනත අනුව පද රචකයා ඇතුළු පිරිසට මුදල් බෙදිලා යන හැටි අපි දැනටම කතාබහ කරමින් ඉන්නවා මේ හරහා...
 
නවක ගායන ශිල්පින් පැරණි ශිල්පින්ගේ ගීත ගායනා කිරීම (රීමෙක් කිරීම) ගැන ඔබේ අදහස?
මෙහෙමයි.. පරණ අයගේ සිංදු කියලා තමයි ගොඩක් අය එන්නේ. පුතාලා වුනත් පියාගේ අඩි පාරේ එන්නේ. ඒත් පියා කරන රස්සාවම පුතා කරන්නේ නෑනේ. තමන්ගෙම කියලා ගීත ටිකක් නිර්මාණය කර ගැනීම වඩාත් සාධාරණයි. දැන් තියෙන්නේ වාණිජ ලෝකයක්. බැලු බැල්මට මුදල් මත අසාධාරණකම් වෙනවා. ස්ටේජ්වල නවක ගායකයෝ ප්‍රියාගේ සිංදු කියනවා. ප්‍රියාට 1000යි අර අලුත් ගායකයාට 5000යි. අනුන්ගේ ගීත ප්‍රසිද්ධ වේදිකාවල කියන එක වැරදියි. සමහරු ඒවා කියලා යූටියුබ් දානවා. ඒක වැරදි දෙයක්...
 
පද රචකයාට වර්තමානයේ තැනක් තියනවාද?
ඉස්සරනම් ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය වෙනකොට නම කියනවා, පද රචකයාගේ, සංගීත ශිල්පියාගේ. ඇත්තටම ඒක නේ සතුට. නැතුව මුදල් හම්බ කිරීම නෙවෙයි. කලාකරුවා සංතෘප්තියට පත් වෙන්නේ තමන්ගේ නම ඒ විදිහට ඇහුණම. ලෝබකමක් තියෙන්නෙ එතැන. මුදල් ගැන හිතුවේ නෑ. පස්සෙ කාලෙක තමයි මුදල් මත මේ දේවල් තීරණය වුනේ. අද පදරචනා වෘත්තියට යම් මිලක් නියම වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්.
 
ඔබ විසින් ගීත ලියලා දීලා, තාමත් මුහුණටවත් මුණ නොගැහුණු දැවැන්තයිනුත් ඇති?
අපොයි ඔව්. ඒ කාලේ කැසට් සීඩි රැල්ලක්නේ තිබුණේ. අපි ඒ ඒ ආයතන හරහා තමයි ගී පද ලියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදකවරයා හරහා. දෙහි මලක්, නෙත්විලේ වගේ ගීත නිර්මාණය වෙන්නේ එහෙම. ඒ ගීත ජනප්‍රිය වුනත් කිංස්ලිව මට මුණගැහුනේ නැහැ. දවසක් අහම්බෙන් රූපවාහිනි වැඩසටහනකදී ඔහුව දැකලා මම කතාකළා. ඔහු සතුටු වුනා, මම කවුද කියලා දැනගත්තට පස්සේ. චාමර වීරසිංහ එක ස්ටේජ් එකේ මුණගැහිලත් මා එක්ක කතා කළේ නැහැ. මේ සිද්ධිය වුනේ හලාවත පොත් එළිදැක්වීමේ උත්සවයකදී. මට ඒකේ කතාවක් කරන්න තිබුණා. තුෂාරි අබේකෝන් කියලා කෙනෙක් ලියපු කෘතියක් ගැන. ඉතින් මට කතා කරන්න කලින් දැනුම් දීමක් කරනවනේ, මේ උපාලි බණ්ඩාර වීරසේකර කියලා. එදා මාත් එක්ක දයාන් විතාරණත් හිටියා. උපාලි බණ්ඩාර කියද්දි චාමර වුනත් දැනගන්න ඕනිනේ මේ ඉන්නේ කවුද කියලා. ඊට කාලෙකට පස්සේ මම චාමරට කෝල් කළා, ඒත් ඔහු දුරකථනයට ආවේ නැහැ, මඟ ඇරියා. වෙන කෙනෙක් දුරකථනයට කතා කළේ. මට ඇහෙනවා ඔහුත් ළඟ ඉන්න බව. ඒත් කතා නොකර හිටියා. ඒ අතින් ඇත්තටම ආත්මා ලියනගේ වගේ කලාකරුවන් අදටත් කෝල් කළාම ඒ විගසම ආන්සර් කරනවා. අපිට තියෙන්නේ මනුස්සකම එක්ක ගනුදෙනුවක්නේ. ඇත්තටම මට ලොකු කළකිරීමක් ඇතිවුණා ඒ වගේ සිද්ධින්ගෙන් පස්සේ. සමහර විට ආයතන හරහා වැඩ කරපු නිසා, එයාලා හිතනවද දන් නෑ, අපිට මොකද්ද තියෙන ගනුදෙනුව කියලා. එක්තරා ආයතනයක් මා එක්ක අමනාපත් වුනා එක්තරා සිදුවීමක් නිසා. ඒකට මුල් වුනේ මම පද රචනා කරපු "කොණ්ඩේ දිගට වවලා" ගීතය ඇතුළත් වෙච්ච කැසට් පටය. ඒක උරේෂා රවිහාරිගේ. එහි සියලුම ගීත ලිව්වෙත් මම. අදටත් මම දුක් වෙනවා, මාව ඒ විදිහට එක එක පුද්ගලයින් එක්කලා අමනාප කරවපු පිරිස් ගැන.
 
උපාලි බණ්ඩාර වීරසේකරගේ අද දවස කොහොමද ගෙවෙන්නේ? අපිට කියන්නකෝ ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු ටිකක්?
මම දැන් ගුවන් විදුලි නාට්‍යය එහෙම රචනා කරනවා. ගෙදරට වෙලා කාලය ගත කරන්නේ, ඒ අතරතුර ගී පද රචනාත් කරනවා. මගේ පුතා සඳරු වීරසේකර. ඔහු යූටියුබ් එකේ නම් ජනප්‍රිය චරිතයක්. මගේ බිරිඳ හෙල්ගා ඉලේෂානි. මේ මොහොතේ මම කියන්න ඕනි ඉතාම කණගාටුදායක සිදුවීමක් වුනා, ශ්‍යාමන් රංජිත් (නිවාඩුවක් ලැබිලා ගීතය ගයන.) කියන ගායන ශිල්පියා. ඔහු කාලයක් පිළිකාවෙන් පීඩා වින්ඳා. මම ඔහුට ගීතයක් ලිව්වා. නමුත් ඒකේ රෙකෝඩින් කරන්න ලැබුනේ නැහැ. ඔහු අවාසනාවන්ත විදිහට අපි අතරෙන් සමුගත්තා. ගීතයේ රෙකොඩින් ඔන්න මෙන්න තියෙද්දි. බලාපොරොත්තු තියාගෙන හිටපු ගීතයක් වුනත්, මේ සිද්ධිය මට තදින්ම දැණුනා. හුඟක් දුකයි.

Samitha Lakshan

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top