මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුටද කොරෝනා ආසාදනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.
ඔහුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැණුනා.
මිනුවන්ගොඩ පොලිසියෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු ද මේ බව තහවුරු කළා.
මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඉදිරියටත් සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ එම පොකුරේ ආසාදිතයින් විස්තාරණය වීමක් දක්නට ලැබෙන බවයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1034 ක්.
එම කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය 03 වැනිදා හඳුනාගත් අතර, දින 03 ක් ඇතුළත එම කොවිඩ් පොකුර ඉහළ ගියේ මෙරට විශාලතම කොවිඞ් පොකුර නිර්මාණය කරමින්.
නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ් පොකුර මීට පෙර වාර්තා වූ විශාලතම කොවිඩ් පොකුර ලෙස සටහන් වූ අතර, එහිදී ආසාදිතයින් 906 දෙනෙකු හඳුනා ගැණුනා.
බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමෙන් අනතුරුව එහි ආසාදිතයින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 15 කින් වාර්තා වනවා.
ගම්පහ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, පොලොන්නරුව සහ යාපනය එම දිස්ත්‍රික්කයි.
ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 207 දෙනාගෙන් 202 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින්.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ මෙම පොකුර පාලනය කරගත හැකි යැයි තමන් විශ්වාස කරන බවයි.
මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් සිටී නම් ඔවුන්ට ඇමතීමට අංකයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව 011 34 56 548 යන දුරකතන අංකයට මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ දිස්ත්‍රික්කය තුළ පදිංචි සේවක සේවිකාවන්ට පොලිසිය කළ දැනුම්දීමට අනුව 275 දෙනෙකු ඊයේ පොලිසිය නම් කළ ස්ථාන වෙත පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.
ඔවුන්ට නිරෝධායනය සඳහා අනුගතවීමට ලබාදී ඇති අවසන් දිනය අද බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
මේ අතර, මුතූර් - ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදී මියගිය කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
64 හැවිරිදි යක්කල - වරපලාන ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහන අද උදෑසන එක්වෙමින් කියා සිටියේ.
එහිදී යුද හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ඉදිරි දින 07 ක කාලය තුළ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
එසේම, කාසල් වීථියේ කන්තා රෝහලේ ගැබිණි කාන්තාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ගම්පහ - මීරිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය මුල්ලේරියාව රෝහල වෙත මාරු කර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා අදත් දිවයිනේ ප්‍රදේශ රැසක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.
එහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් පසුගියදා පොලොන්නරුව - ලංකාපුර - දෙබරැල්ල ප්‍රදේශයට පැමිණ තිබීම හේතුවෙන් පුද්ගලයින් 70 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.
එසේම, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 75 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචි සිසුන් වීම හේතුවෙන් මෙලෙස පසුගියදා ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබූ බව විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා සඳහන් කළා.
එමෙන්ම හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල පාසලක විදුහල්පතිවරයා, ගුරුවරුන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඒ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ පැවති සංගීත සංදර්ශනයකට එක්වූ සංගීත කණ්ඩායමක් අඹගමුව ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වීම හේතුවෙන්.
මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් අම්බලන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් අත්හිටුවීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.
ඔවුන්ට ලද තොරතුරක් මත එම ස්ථානයට යන අවස්ථාවේදී දෙක ශ්‍රේණියට සහ සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ඔවුන් උපකාරක පන්ති පවත්වාගෙන ගොස් තිබුණා.
එමෙන්ම මගී බස් රථවලට මුඛ ආවරණ නොපැළඳ මගීන් ඇතුල් කර ගන්නා රියදුරුන්ට සහ සහයකයන්ට එරෙහිව පියවර ගන්නා බව සමස්ත ලංකා ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරුන්ගේ සංගමයේ සභාපති රත්නකුමාර වීරසිංහ ප්‍රකාශ කළා.