සීදුව, කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළින් ආසාදිතයින් 30ක් වාර්තා වෙයි
Thursday, 08 October 2020 - 8:50 | Views - 162
.jpg)
සීදුව, කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළ ඊයේ පස්වරුව වනවිට කොරෝනා ආසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.
ඔවුන් සියලු දෙනා ආඬිඅම්බලම, කෝවින්න, වලව්වත්ත ආදී ප්‍රදේශවල පදිංචිව සිටින බ්‍රැන්ඩික්ස් පොකුරේ සාමාජිකයින්.
එමෙන්ම කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමඟ ආණමඩුව - ආඬිගම - පුණවිටිය ගම්මානය තුළ සංචරණය සීමා කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඊයේ පස්වරුවේ පියවර ගත්තා.
එමෙන්ම පල්ලම, මුන්දලම සහ ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පවුල් 14 ක පිරිස් ඊයේ නිරෝධායනයට යොමු කළ බවයි පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ඒ.එස්.කේ. පෙරේරා සඳහන් කළේ.
හලාවත මහ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි 43 හැවිරිදි ඉරාන ජාතිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඊයේ රාත්‍රියේ හඳුනා ගැණුනා.
උමාඔය ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි අදාළ ඉරාන ජාතිකයා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඇති අතර, එහිදී ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 4 වනදායි.
සොරණාතොට, මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ එම එක් නිවසක සාමාජිකයින් මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට ගොස් පැමිණ ඇති බව හෙලිවීමත් සමඟයි.
අහංගම - එලිකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගේ සුවදුක් බැලීමට දිවුලපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ විහාරාධිපති හිමියන්ද ප්‍රදේශයේ නිවසක පැවති දානමය පිංකමකට සහභාගි වී ඇති හෙයින් එම දානයට පැමිණ සිටි පවුල් 26 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවයි.
මේ අතර, පසුගිය 22 වැනිදා ඉන්දියාවේ විසාකාපට්නම් සිට මත්තලට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 60 දෙනෙකු පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් බ්‍රැන්ඩික්ස් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ සිය ඉන්දීය කර්මාන්තශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විසාකාපට්නම් සිට විශේෂ ගුවන් වාර 03 ක් ක්‍රියාත්මක කළ බවයි.
එසේ පැමිණි සියලු දෙනා රජය යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයක අනිවාර්ය නිරෝධායන කාලය සම්පූර්ණ කළ බවත්, ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ තවත් දින 14 ක් ස්වයං නිරෝධායනය වූ බවත්, බ්‍රැන්ඩික්ස් සමාගම පවසනවා.
එම සමාගම අවධාරණය කරන්නේ එම පිරිසේ කිසිවෙකු හෝ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවයි.
එසේම, ඉන්දීය ජාතිකයින් පිරිසක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවය කළ බවට පැතිරෙන වාර්තාද ප්‍රතික්ෂේප කරන බ්‍රැන්ඩික්ස් සමාගම, කිසිදු විදෙස් ජාතිකයෙකු පසුගිය කාලය තුළ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවද පවසනවා.
Share This Article