පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
Thursday, 08 October 2020 - 8:31 | Views - 187
.jpg)
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව, මීගමුව කොට්ඨාශයේ සීදුව පොලිස් බල ප්‍රදේශයටත්, කැලණිය කොට්ඨාසයේ ජාඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටත්, ගම්පහ පොලිස් කොට්ඨාසයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල පොලිස් බල ප්‍රදේශවලටත් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතීය ක්‍රියාත්මකයි.
මේ දක්වා ඇඳිරි නීතිය කඩකළ 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 18 ක්ද සිය භාරයට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
මේ අතර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ කන්සියුලර් සේවා අද සහ හෙට තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කන්සියුලර් කටයුතු සිදු නොවන අතර, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබඳව විමසීම, මරණ සම්බන්ධයෙන් ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන් කරගැනීමේ පදනම මත භාරගන්නා බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
විදේශයන්හි සිදුවන මරණ සම්බන්ධයෙන් 011 233 88 36, 011 233 59 42 දුරකථන අංකවලින්ද අපනයන ලේඛන සහතික කිරීම, 011 233 88 12 යන දුරකථන අංකයද ඇමතීමෙන් වේලාව වෙන්කරගැනීමට හැකියාව පවතිනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් කොරෝනා රෝගය හමුවේ ආගමික වතාවත් සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිරන්තරයෙන් පිළිපැදිය යුතු අතර, ආගමික ස්ථානවල ඒකරාශිවීමෙන් වැළකී සිටින ලෙසද ඉන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයින් පැමිණීම ඊයේ දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා.
Share This Article