හිරු CIA හෙළිකරගත් උඩවලව වේල්ල ආශ්රිත අල්ලස් ගැනීම
Wednesday, 07 October 2020 - 15:45 | Views - 1,171

පාස්කු බෝම්බ ප්රහාර මාලාව එල්ල වීමත් සමඟ ආරක්ෂාව තර කර තිබූ උඩවලව වේල්ල ආශ්රිත කලාපයේ ආරක්ෂිත තත්ත්වය මේ වන විට මුළුමනින්ම අවදානමට ලක්ව තිබෙනවා.
හිරු CIA කළ ගවේෂණයකදී හෙළිවුණේ මහවැලි ආරක්ෂක නිලධාරීන් මුදල් අල්ලස් ලබාගෙන රාත්රි කාලයේදී උඩවලව වේල්ල මතින් කන්ටේනර් ඇතුළු බර වාහන ගමන් කිරීමට අවසර ලබාදෙන බවයි.
අධික බර පැටවූ වාහන වේල්ල මතින් ගමන් කිරීම සඳහා වේල්ලේ ආරක්ෂාවද බරපතල තර්ජනයට ලක්කර තිබෙනවා.
මේ උඩවලව ජලාශය මත ස්ථාපිත කර ඇති උඩවලව වේල්ල ආශ්රිත ප්රදේශයයි.
මෙම වේල්ල මතින් බර වාහන ගමන් කිරීමට කලකට පෙර අවස්ථාව ලබාදී තිබුණත් පාස්කු බෝම්බ ප්රහාර මාලාව සමඟ එය නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
උඩවලව වේල්ල මතින් දහවල් කාලයේ මේ වන විටත් බර වාහන ගමන් කිරීමට ඉඩ ලබානොදෙන අතර මුදල් අල්ලස් ලබාගෙන රාත්රී කාලයේදී කන්ටේනර් ඇතුළු බර වාහනවලට ගමන් කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන් ඉඩ ලබාදෙන බවයි හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණේ.
''දවල්ට යන්න බෑ. රෑට යන්න මේ අය සල්ලි ගන්නවා.ලොරිවලින් රුපියල් 200, 300, 500 ගන්නවා.ලෝඩ් එක වැඩි නම් ඊට වඩා වැඩියෙන් ඉල්ලනවා.''
උඩවලව වේල්ලේ ආරක්ෂාව භාරව පවතින්නේ මහවැලි ආරක්ෂක බලකායටයි.
එම බලකායේ ආරක්ෂක නිලධාරීන් බරවාහන වේල්ල මතින් ගමන් කරවීමට රාත්රී කාලයේ හොර රහසේ මුදල් අල්ලස් ලබාගන්නා අයුරු හිරු CIA මෙලෙස නිරීක්ෂණය කළා.
දිනපතා සිදුවන මෙම අල්ලස් ලබා ගන්නා ක්රියාවලිය පිළිබඳව අප ආරක්ෂක නිලධාරීන්ගෙන් මෙලෙස ප්රශ්න කළා.
''මේ බර වාහනයක්නේ යන්නේ.කොහොමද යන්නේ රෑ බර වාහන.ඔයගොල්ලෝ සල්ලි අරගෙනනේ යන්නේ?.දවල් වරුවට යවන්නේ නැහැනේ?.ඩෑම් එකේ ආරක්ෂාවටනේ යවන්නැත්තේ?.ගත්ත සල්ලි පෙන්නන්න.කීයක්ද ගත්තේ?.300ක්.පිළිගන්නවද වැරැද්ද?.ඔව්.''
මෙරට ජාතික ආරක්ෂාවේ දැඩි හිඩසක් පැවති බව පාස්කු ප්රහාරය එල්ල වීමෙන් මුළුමහත් ලෝකයටම ඔප්පු වූ කරුණක්.
එවැනි තත්ත්වයක් යටතේ උඩවලව වේල්ලේ ආරක්ෂාව සඳහා යම් නීති ක්රියාත්මක කිරීමට බරවාහන ගමන් කිරීම නවතා දැමුවේ නම් මෙලෙස අල්ලස් ලබාගෙන උඩවලව වේල්ලේ ආරක්ෂාව අනතුරේ හෙළීම සුළු කොට තැකිය හැකිද?
අප කළ සොයා බැලීමේදී හෙළි වූ තවත් කරුණක් වූයේ උඩවලව වේල්ල ආශ්රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා පද්ධතියද මේ වන විට අක්රීයව පවතින බවයි.
මෙම හෙළි කිරීම් හමුවේ හෝ මෙරට රාජ්ය ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගන්නා බලධාරීන් මේ පිළිබඳව නිසි ක්රියාමාර්ග අනුගමනය කරන්නේද?
හිරු CIA මේ පිළිබඳව අවධානයෙන්.
Share This Article